රටක් වශයෙන් ආර්ථික ස්ථායිකරණයට අදාළ මූලික පදනම දැමීමට රජය සමත්වී ඇතැයි කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
තවදුරටත් ආර්ථිකය ස්ථායිකරණය වෙමින් තිබෙන බවත් ඒ බව නිල දර්ශක මගින් පෙන්නුම් කරන බවත් මහජන විශ්වාසය තුළිනුත් එය පිළිබිඹු වන බවත් ඇමති ප්‍රනාන්දු කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26දා) උදේ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව කීවේය.
ඉදිරි මාස හතරට අවශ්‍ය වියදම් රජය විසින් අතුරු සම්මත ගිණුම් හරහා වෙන්කරගෙන තිබෙන බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙනයමින් රජය හරි පාරේ ගමන් කරන බවත් කියා සිටි මහාචාර්යවරයා කීවේ වඩා ප්‍රායෝගික තත්ත්වය වන්නේ එය බවයි.
“රඳවා ගැනීමේ බද්ද හරහා රජය වැඩිපුර බදු ගැහුවා කියන එක වැරදියි. රජය අතිරේක ආදායම් බදු ගහන්නේ නෑ. බදු දැල පුළුල් කරගන්න ඕන. බදු අය කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කරගන්න ඕන. ප්‍රභවයේදී බදු අයකර ගැනීම තමයි කාර්යක්ෂම ක්‍රමවේදය. බදු අයකිරීම සාධාරණ ක්‍රමවේදයකට යන්න ඕන. ලොකු තැන්පතු තියන අය බදු ගෙවන ක්‍රමවේදයට ගෙන ඒම සඳහා මේ රැඳවුම් බද්ද වැඩි කළා” යැයි ද ඔහු සඳහන් කළේය.
එහිදී මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේ කීවේ 2025 මාර්තු 21 දිනෙන් එහාට පරාටේ නීතිය අත්හිටුවීම තවත් දික්කිරීමක් සිදු නොවන බවය.
මහ බැංකුවේ දත්ත අනුව රු. මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන් ගෙන් සියයට 99කට තම ණය මුදල් බැංකු සමග නැවත සාකච්ඡා කර ගෙවීමට එකඟවීම සඳහා මාස 12ක සහන කාලයක් දීම මින් ඉදිරියට සිදුවෙනවා. මිලියන 25ට අඩු ව්‍යාපාර සඳහා සහන දෙන එක ක්‍රමයක් ඒක. එසේම රු. මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහා ද මාස 9 ක දිගුවක් ලබාදී තිබෙනවා. අනෙකුත් ණය
ගැනුම්කරුවන් සඳහා මාස 6 ක දිගුවක් ලබාදී තිබෙනවා. හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයාගැනීම සහතික කිරීමට රජය පාර්ශවකරුවන්ගේ කණ්ඩායම් සමග සාකච්ඡා කළා.