වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට වසර විස්සකට අත්සන් කර ඇති ගිවිසුම් සහ විදුලි බල මණ්ඩලයට ඇති රුපියල් බිලියන 332ක ණය හේතුවෙන් විදුලි බිල අඩු කිරීමට සිදුවන්නේ වසර තුනක් ඇතුළත යැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. විදුලි බල මණ්ඩලය අලාභ නොලබන බවත් මේ වනවිට මණ්ඩලය රුපියල් බිලියන 167 ක් ලාභ ලබන අතර මණ්ඩලයේ ණය සියල්ල ඉවත් තර ඇති බව පැවසූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉතා කෙටි කාලයකදී විදුලි බිල අඩු කරන බවට ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේදී දුන් පොරොන්දුව කවදා ඉටු කරන්නේ දැයි බලශක්ති ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ කීය.
“විදුලි බිල අඩු කරනවා මිසක් අපි විදුලි බලය අඩු කරන්නේ නෑ. අපේ අරමුණත් විදුලි බිල අඩු කිරීමයි. ඒක දවසින් දෙකෙන් කරනවා කියලා කොහේවත් කියලා නෑ. ඒක අවුරුදු තුනක් ඇතුළතයි කරන්නේ.
පසුගිය දූෂිත සහ අක්‍රමවත් පාලනයේ ප්‍රතිඵල අද ජනතාවට විඳින්න වෙලා. මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 332ක ණය බරකින් පෙළෙනවා. ඒ වගේම වැඩි මිලට විදුලිය මිලදී ගැනීම් තිබෙනවා. රුපියල් 22කට මිලදී ගත් ඒකකය රුපියල් 34ට ගිහින්. ආපසු 27ට ඇවිත් තිබෙනවා. මේක ස්ථාවරව පිළිවෙළකට කරන්න ඕනා වැඩ. අපි ඒක කරගෙන යනවා. ඒකට අපිට තව කාලයක් යනවා. පැටලිලි ලිහා ගන්න ඕනා. වැඩි මිලට විදුලිය මිලදී ගන්න අවුරුදු විස්සකට ගිවිසුම් ගහලා තිබෙනවා. අපි ඒවායෙත් හිරවෙලා ඉන්නේ. අපිට ගණනය කිරීම් ආවේ සියයට 33කින් වැඩි කරන්න. නමුත් අපි බොහොම සකසුරුවමෙන් තමයි මේ යන්නේ. අපිට පරණ පව් හෝදන්න වෙලා. අපි අවුරුදු තුනක් ඇතුළත තමයි ඔය තිස් ගණනකින් අඩු කරන්නේ. ඊට කලින් අඩු කරන්න වුවමනාවක් තිබෙනවා. ඒකට අවශ්‍ය සැලසුම් හදාගෙන යනවා. සමහර මාධ්‍ය කියනවා විදුලි බිල අඩු කිරීමේ යෝජනා කියලා. එහෙම එකක් නෑ. විදුලි බිල සංශෝධනය කිරීමක් තියෙන්නේ. අනෙක මණ්ඩලයේ ණය මහා භාණ්ඩාගාරයට අරගෙනත් නෑ. එහෙම අරගෙන තිබෙනවා නම් ඒක ඔප්පු කරන්න. බිලියන 167ක් ලාභ ලබන ආකාරය පෙන්වන්න. ඕවා කටකතා. මණ්ඩලයේ කිසිම ණයක් කවුරුවත් පවරාගෙනත් නැහැ. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳ අවධානය යොමු කරමින් පසුව කියා සිටියේ තමා සභාපතීත්වය දරන පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත රජය විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික වාර්තාවක විදුලි බල මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 139ක් ලෙස දැක්වෙන බවයි. එබැවින් යම්කිසි පාර්ශ්වයක් පාර්ලිමේන්තුව නොමඟ යවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙසද හර්ෂ ද සිල්වා මහතා කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.