අතීතයේ විවිධ රජයයන් යටතේ, වැරදි සිදු වූ අවස්ථාවල දී ඇමතිවරුන් ධුරවලින් ඉල්ලා අස් වූ අවස්ථා හෝ ඔවුන්ව ඉවත් කළ අවස්ථා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
ඒ අනුව, උදාහරණයක් ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමෘර්ධි නිලධාරියෙක් ‘ගස් බඳින ලද’ අවස්ථාවේ දී, ජනාධිපතිවරයා ඔහුව ඉවත් කර පරීක්ෂණ සිදු කළ බවත්, ඒ ආකාරයේ අවස්ථා කිහිපයක්ම ඇති බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
වර්තමාන පාලකයින් විපක්ෂයේ සිටියදී, වැරදි කරන ඇමතිවරුන් වහාම ඉවත් කරන බවටත්, ඇමතිවරුන් සරලව ජීවත් විය යුතු බවටත් ප්‍රකාශ කළ ද, අද ක්‍රියාවෙන් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව ද ඔහු සඳහන් කළා.
බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් පිරිසක් මියගිය සිදුවීමේ දී විෂයභාර ඇමතිවරයා වගකීම භාරගන්නා බව පැවසුව ද, සැබෑ වගවීමක් පවතින්නේ නම් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.