වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට දෙවුවරු ලෙස සිතලා තමයි දුප්පත් අපි රජයේ රෝහලට ප්‍රතිකාර ගන්න යොමු වෙන්නේ. නමුත් මුදලට කෑදර වෙලා වර්ජනයට මුවා වී පෞද්ගලික රෝහලක සිටිමින් වාට්ටුවට ඇවිත් මාව බැලුවේ නැති නිසයි මට මගේ කුලුඳුල් දරුවා නැති වුණේ.
කඳුළු පිරි දෙනෙතින් යුතුව ත්‍රිකුණාමලය කප්පල්තුරය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි සතහ්යසීලන් නිලක්ෂිකා මහත්මිය දිණමිණට පැවසුවාය.
ඉකුත් අප්‍රේල් 09 වනදා ත්‍රිකුණාමලය මහ රෝහලේදී වෛද්‍ය වර්ජනයට මුවාවී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරමින් සිටි ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂ වෛද්‍ය (ත්‍රිකුණාමලය මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති) ඕ.වී.ජී.එල්. වීරසේන හා එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ප්‍රසව වේදනාවෙන් සිටි මවගේ බිලිඳා මියයාම සම්බන්ධයෙන් සැබෑ තතු හෙළිකර ගැනීමට සිදු වීමට මුහුණ පෑ මවුපියන් සොයා ත්‍රිකුණාමලය, කප්පල්තුරය ගම්මානයට අපි ගිය අවස්ථාවේ වැඩිදුරටත් අප හා අදහස් දැක්වූ එම මව මෙසේද පැවසුවාය.
රෝහලට ඇතුළත් වුණ වෙලාවේ ඉඳලා හත්අට වතාවක් මට අමාරුයි කියලා කිවුවා. ප්රසව් වේදනාව තදින්ම දැනෙන බව කිවුවා. කොන්ද අතපය වේදනා බව කිවුවා. මගේ යෝනි මාර්ගයෙන් රුධිරය සමඟ දිය පිටවෙන බව පැවසුවා. වාට්ටුවේ කනිෂ්ඨ වෛද්‍යවරයා අනෙක් මවුවරුන් බලලා ඇවිත් මාව බලනකම් වාට්ටුවේ කිසිම කෙනෙක් මාව බැලුවේ නෑ. රෝහලට ඇතුළත් කළ වේලාවේ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍ය නිලධාරි පරීක්ෂා කරලා සීසර් කළානම් මගේ දරුවා බේරා ගන්න තිබුණා, යනුවෙන් කඳුළු පිරි දෑස් පිසමින් ජංගම දුරකතනය තුළ පැවති බිලිඳු දරුවාගේ ඡායාරූපය පෙන්නුවාය.
අප්‍රේල් 08 වනිදා උදේ ඉඳලාම මට අමාරු වුණා. පස්සේ අම්මා මාව ත්‍රිකුණාමලය මහ රෝහලට දහවල් එක්කගෙන ගියා. මාව ප්‍රසව වාට්ටුවේ දහවල් 1.45 ට විතර නැවැත්තුවා. කනිෂ්ඨ වෛද්‍යවරයෙන් සාමාන්‍ය විදිහට මාව බැලුවා. තව දින තියෙනවා ඒ නිසා විවේක ගන්න කියලා ඇඳක් ලබා දුන්නා. මට ගොඩක් අමාරුයි කියලා මම වාට්ටුවේ හෙදියන්ටත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියටත් කිවුවා. ඒ අය කිවුවේ වෛද්‍යවරුන් තමා බලන්න ඕන වී.ඕ.ජී. මහත්තයාට කියන්න කෝල් කරලා කියන්න කියලා. පස්සේ හවස ලෙඩ්ඩු බලන වේලාවේ අම්මා ආවා. මම අම්මට කිවුවා. මට අමාරුයි කියලා. අම්මත් ගිහින් වාට්ටුවේ දොස්තර මහත්තයාට කිවුවා. එයාලා කිවුවේ පළමුවෙනි බබානේ. එහෙම තමා තව කල් තියෙනවා කියලා. මට ආපහු රෑ 09.00 ට අමාරු වුණා. මගේ ඇඳට තියලා බෙල්ට් එකක් දාලා තිබ්බා. මට කොන්ද අමාරු වුණා. මම කොච්චර කිවුවත් කිසිම වෛද්‍යවරයෙක් ඇවිත් බැලුවේ නෑ. දොස්තරලා වැඩ වර්ජනයක් කියලා වාට්ටුවේ අය කිවුවා.
09 වනිදා උදේ 06.00 ට විතර අම්මා මගේ මහත්තයා මාව බලන්න ආවා. මම අමාරුවෙන් ඉන්නේ සීසර් කරලා හරි බබාව ගමු කියලා මහත්තයා වාට්ටුවේ වෛද්‍යවරයාට කිවුවා. 07.00 වෙද්දී ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි කියලා අම්මාවයි මහත්තයාවයි වාට්ටුවෙන් යන්න කිවුවා. පස්සේ උදේ මට ගොඩක් ලේ යනවා කියලා මම කිවුවා. එතකොට තමයි මාව ඇදගෙන හිටපු ඇඳුම් පිටින්ම සූතිකාගාරයට අරන් ගියේ.09 වෙනිදා උදේ 09.54ට මට බබා ලැබුණා. මට බබාව පෙන්නුවේ නෑ. බබා අරන් පවුල් සෞඛ්‍ය සේවිකාව දුවලා ගියා. හවස 04.00 වෙනකම් මාව සූතිකාගාරයේ තියන් හිටියා. බිලිඳා ප්‍රසූත කළ නිලක්ෂිකා මහත්මියගේ මව වන 46හැවිරිදි සතහ්යසීලන් සෙල්වරාණි මහත්මිය අප සමඟ මෙම සිදුවීම පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
මගේ දුව විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. බෑනා කොළඹ ප්‍රදේශයේ පික්මී කුලී කාර් ආයතනයක් කරනවා. දුවත් බෑනා එක්ක කොළඹ පදිංචිවෙලා හිටියේ. අපේ පවුල්වල සිරිත්වලට අනුව කුලුඳුල් දරුවා අම්මාගේ ගෙදර ඉඳලා ඉපදෙන්න ඕන කියලා තමයි ත්‍රිකුණාමලය අපේ ගෙදර ආවේ. දුවව රෝහල්ගත කළ අවස්ථාවේ දී වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර ලබා දීලා දරුවා බිහි වෙන්න කටයුතු කළානම් දරුවා මියයන්නේ නෑ. සම්පූර්ණ වැරැද්ද වී.ඕ.ජී. මහත්තයා සහ නේවාසික වෛද්‍ය නිලධාරි දෙන්නාගේමයි. අපි 09 වෙනිදා දවල් රෝහලට ගියා. දුව වාට්ටුවේ නැති නිසා අපි කෝ කියලා ඇහුවා. හෙද නිලධාරිනිය කිවුවා රෝහල් පොලීසියට ගිහින් අහන්න. දරුවා නැතිවුණා කියලා. අපි දුවව බලන්න ඉල්ලුවත් ඉඩ දුන්නෑ. පස්සේ චීනවරාය පොලීසියෙන් ඇවිත් තමයි අපිට දුව බලන්න දුන්නේ. මරණ පරීක්ෂණයේදී කිවුවේ හම්බවුණු දරුවාට මල අපද්‍රව්‍ය කුසට ගිහින් තමා මියගොස් තියෙන්නේ. රසායනාගාර පරීක්ෂණවලින් පස්සේ හේතුව කියන්නම් කියලා.
වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් තමා මේ අපරාධය සිදු වුණේ. මේ වගේ දෙයක් නැවත වෙන කාටවත් නොවෙන්න ඕන. අපි ඉල්ලන්නේ රජයෙන් ලක්ෂ ගණන් මහජන් මුදලින් වැටුප් ලබන මේ රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහලක සේවය කිරීම සම්පූර්ණයෙන් නවත්වන්න. මේ වගේ යක්ෂයන්ට කිසිදාක ලෝකයේ කොහේවත් නැවත වෛද්‍ය වෘත්තීය කරන්න බැරි වෙන්න තහනම් කරන්න කියලා.
මේ වන විට මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කර ඇති අතර, රාජකාරි කාල සීමාව තුළදී සේවය පැහැරහරිමින් පෞද්ගලික රෝහලක සේවය කරමින් විනය විරෝධි විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් එම වෛද්‍යවරුන්ගේ සේවය තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත.
එවන් පසුබිමක ඉතා නිර්ලජ්ජිත අයුරින් එම වෛද්‍ය නිලධාරීන් දෙදෙනා රැක ගැනීමට වෘත්තීය සගයන් දරන උත්සාහය පිළිකුලෙන් හෙළා දකිමින් නීතිමය දඬුවම් මෙම වෛද්‍යවරුන් දෙපළට ලබා දිය යුතු බව පවසමින් නිලක්ෂිකා මහත්මිය හා පවුලේ නෑදෑයන් ඉකුත් 13 වැනිදා ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ගොනුකිරීමට පියවර ගත් අතර, පොලිස් අධිකාරි කාර්යාලය මඟින් ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත අදාළ පැමිණිල්ල ගොනු කිරීම සඳහා ඔවුන් යොමු කරන ලදි. ඒ අනුව වරාය පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකාරක රොෂාන් අක්මීමන මහතාද මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ කරන්නැයි පොලීසියට හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
ත්‍රිකුණාමලය මහ රෝහලේ මෑත කාලයේ මෙවන් බිලිඳු මරණ හයක් වාර්තා වී ඇති බව රෝහල් හදිසි මරණ පරීක්ෂක කාර්යාලීය සටහන්වලින් පැහැදිලි වන බැවින් මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ප්‍රදේශවාසීහුද ඉල්ලා සිටිති.