අධිකරණ විනිසුරුවරුන් සේවයෙන් විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට මේ ආණ්ඩුව ගෙනවිත් තියෙන සංශෝධන වර්තමානයට
ගැළපෙන ජනතාවට අත්‍යවශ්‍ය එකක් යැයි ජනවරමේ නීතිඥයෝ එකමුතුවේ නීතිඥ හේමක සේනානායක මහතා පැවැසීය.
2024 මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම කුමක්ද? වර්තමාන රජය ජනමතයට අනුව කටයුතු කරනවාද? යන්න පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සේනානායක මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩු වගේ නොවෙයි. මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි. අපේ රටේ තීන්දු ලබාදීමට දින දෙකතුනකට පෙර නඩු ඉල්ලා අස්කර ගත්තා අපි දැකලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ලබාදෙන විට පාර්ලිමේන්තු කමිටු පිහිටෙව්වා. සමහර තීන්දුවලට එරෙහිව අධිකරණවලට ගල් ගැහුවා. මෙවැනි තත්ත්වයන් වෙනස් කරන්න තමයි ජාතික ජන බලවේගය පක්‍ෂය බලයට ගෙනාවේ
බලයට පත්වීමට පෙර මේ අය බලයට ආවොත් දළදා පෙරහර නවත්වයි කිව්වා. පෙරහර නැති කරයි කිව්වා. එහෙම දේවල් වුණාද? අපි කියන්නේ අපේ මතයට විරුද්ධයි නම් සාධනීය විවේචන කරන්න. අපිට විරුද්ධව පෙළපාළි යන්න. අපේ අදහස්වලට අකමැති නම් අකමැති වෙන්නේ කුමන පදනමකින්ද කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කියලයි යන්න සේනානයක මහතා පැවැසීය.
නීතිඥ අකලංක උක්වත්ත මහතා –
ආණ්ඩුවේ මේ යෝජනාව ජනවරමේ අවශ්‍යතාව ඉෂ්ට කිරීමට පාදක කරගත් සංශෝධනයක්. ලෝකයේ වෙනත් රටවල විනිසුරුවරුන්ගේ සේවා කාලය ඉන් එහාට ගිහින් දීර්ඝ කර තිබෙනවා. ඔස්ටේ්‍රලියාව අවුරුදු 70 යි. කැනඩාව හා බ්‍රසීලය අවුරුදු 75 යි. ඩෙන්මාර්කය අවුරුදු 75 යි. ඇමෙරිකාවේ වයස් සීමාවක් නැහැ. ඒ නිසා මේක ලංකාවට පමණක් ආණ්ඩුව ගේන්න හදන යෝජනාවක් නොවෙයි කියලා මේකට විරෝධය පළ කරන අය තේරුම් ගත යුතුයි.