වනසතුන්ගෙන් සිදුවන වගා හානි පාලනයට ගොවි ජනතාවගෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් විකල්ප යෝජනා ඉල්ලා සිටිය ද මෙතෙක් එක් පාර්ශ්වයකින් හෝ සාධනීය යෝජනා ඉදිරිපත්ව නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඇතැම් පරිසර සංවිධාන වගාව වටා සාරි එල්ලීම, පොල්ගස්වල ටින් තහඩු එල්ලීම වැනි යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ඵල රහිත බව ගොවීන් චෝදනා කරනවා.
ඒ අනුව වනසතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ප්‍රමුඛත්වය ලබා දීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.
වගාවන්ට හානි කරන වනසත්ව ගහණය අවම කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි ද එසේ නැතහොත් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමේ නීතිය සංශෝධනය කර ගිනි අවි තමන්ට තබා දෙන ලෙසද ගොවීන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ගොවීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ දැනට පතරොම් තුවක්කු සඳහා බලපත් නිකුත් කරනු ලබන්නේ අක්කර පහකට වඩා වැඩි ගොවිපොළවලට බවයි.
එහෙත් එම ප්‍රමාණය අක්කර 02ක් දක්වා අවම කිරීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර වයඹ පළාතේ ගොවීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ කුමන බාධක පැවතියත් ගොවින් සදහා ලබාදෙන සහනයන් නතර නොකරන බවයි.