පොහොර සහනාධාරය රු.30,000 දක්වා වැඩිකර එකවරම ගොවින්ගේ ගිණුමට ලබා දෙයි

යල කන්නයේ හෙක්ටයාරයකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් විසිපන් දහසේ සිට තිස්දහස දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මීට පෙර වාරික දෙකකින් ගෙවූ පොහොර සහනාධාරය මෙවර එකවරම ලබාදීමටද රජය තීරණය කර තිබේ. වත්මන් පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ පොහොර තොග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (05දා) පැවති අතර, එහිදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියා සිටියේ යූරියා පොහොර මිටියක් රුපියල් දසදහස් දෙසීයක උපරිම මිලකට ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ධම්මික රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.

“යල කන්නය තුළ මුල් අවස්ථාවේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් පොහොර බෙදා දීමට තීරණය කර තිබෙනවා. මෙම කන්නය පුරාවට වෙළෙඳපොළේ පොහොර මිල කොතරම් ඉහළ ගියත් කිලෝ 50 යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 කට අපි ලබාදෙනවා.

එසේම මෙම කන්නයේ සිට පොහොර සහනාධාරය වැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා. මෙතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් දුන් මුදල 30,000 දක්වා වැඩි කරනු ලැබුවා. මුල් වටයේදී පොහොර මෙටි්‍රක් ටොන් 48,000 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීමට කටයුතු කළා. නමුත් මෙම පොහොර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා යල කන්නය වෙනුවෙන් තවත් පොහොර මෙටි්‍රක් ටොන් 15,000 ක් පුද්ගලික සමාගම්වලින් මිලදී ගෙන, එම පොහොරත් රුපියල් 10,200ක උපරිම මිලකට ගොවි ජනතාවට ලබාදීමට පියවර ගත්තා.

වගාව ආරම්භ කර ඇති බිම් ප්‍රමාණයෙන් 85% කට මේ වනවිට පොහොර සහනාධාරය ගෙවා අවසන් කර තිබෙනවා. පොහොර සහනාධාරය ගෙවීම පසුගිය වසරේදී වගේම මෙම කන්නයේත් කෙළින්ම ගොවි මහතාගේ බැංකු ගිණුමට බැර කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *