වසරේ මුල් මාස 05 ඇගළුම් අපනයන ආදායම 9.2%කින් ඉහළට යයි

රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් මෙම වර්ෂයේ (2025) මුල් මාස පහේ දී ලබා ගෙන ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,141.7 දක්වා සියයට 9.2කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2024) මෙම කාලසීමාවේ දී රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් ලැබූ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,961කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස පහට සාපේක්ෂව මෙම වර්ෂයේ (2025) මුල් මාස පහේ දී රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් ලැබූ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 180.7කින් වැඩි වී ඇත.

මෙම වර්ෂයේ මුල් මාස පහේ දී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 5350.3 දක්වා සියයට 5.6කින් වැඩි වී තිබූ අතර එම අපනයන ආදායමෙන් ඩොලර් මිලියන 2,141.7ක අපනයන ආදායමක් ලබා ගෙන ඇත්තේ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අපනයනය කිරීම මගිනි.

ඇමරිකාව විසින් පනවනු ලැබූ සියයට 30ක තීරුබදු ප්‍රතිශතයත් සමග මෙරට රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදනවලින් ලැබූ අපනයන ආදායමට යම් බලපෑමක් ඇති විය හැකි බවට ආර්ථික විද්‍යාඥයෝ මත පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *