හිටපු ජනාධිපති වරප්‍රසාද අදින් අවසන් – ජනපති අනුරත් එයි, ඡන්ද විමසීම අද

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන පනත් කෙටුම්පත පිළිබද විවාදය අද දිනයේ දී පැවැත්වෙන අතර, එම විවාදය සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වීමට එකඟ වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

විවාදයෙන් පසුව, පස්වරු 3.30 ට ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

මේ අතර, අද විවාදයට ගැනීමට නියමිතව තිබූ ‘මැදිහත්වීම් (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත’ පසුවට කල් තබා තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කාරක සභාවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් පාර්ශ්වයන් යෝජිත සංශෝධන සමාලෝචනය කිරීමට වැඩි කාලයක් ඉල්ලා ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

ඡන්ද විමසීමෙන් අනතුරුව, පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ගොවීන්ට සහතික මිලක් ලබා දීමේ අවශ්‍යතාව සහ කෘෂිකාර්මික අංශයේ පවතින අභියෝග විසඳීම පිළිබඳව විපක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *