අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපි යොමුකර තිබෙනවා.
මේ අතර පාස්කු වින්දිතයින් සහ සිවිල් ක්රියාකාරීන් පිරිසක් සත්යග්රහය පැවති කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ පාස්කු විමර්ෂණ අඛණ්ඩව සිදුකරන්නැයි ඉල්ලීම් කර සිටියා.
එමෙන්ම පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සාධාරණයට ඉටු කර දෙන ලෙසත් සිදු කෙරෙන පරික්ෂණ ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන ලෙස ඉල්ලා සිටීමේ උද්ඝෝෂණයක් මීගමුවේ දී ද පැවැත්වුණා.
මේ අතර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සදහා ජූලි 10 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණවලට අදාළව රැදවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටුප අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
මෙවන් පසුබිමක අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සෑම දිනකම රෝගීන් බැලීමට ලබාදෙන කාලයේ දී සුරේෂ් සලේගේ බිරිඳට සහ පුත්රයාට ඔහු බැලීමට අවස්ථාව ලබාදෙමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දැමු කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ සැකකරු ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්රකාරව රැඳවුම් භාරයේ ප්රතිකාර ලබමින් සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.
මෙවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන සිය ස්වාමි පුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.
එමෙන්ම සලේ මහතාගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ද ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින සිය සේවාදායකයාව දිනපතා බැලීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඉන් පෙන්වා දී ඇත්තේ සිය සේවාදායකයාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඒ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කර ඔහුගේ අයිතිවාසිකම් සහ සුබසාධන සැලසීමට තමන්ට වෘත්තිමය වගකීමක් ඇති බවයි.
මේ අතර පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසත්, සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා මීගමුව කොළඹ ප්රධාන මාර්ගයේ බාල්දිය මංසන්ධිය අසලදී අද නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා.
එය සංවිධානය කර තිබුණේ කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්රස්ත ප්රහාරයේ වින්දිත ජනතාව විසින්.
මේ අතර අද දහවල් පාස්කු ප්රහාරයේ වින්දිතයින් සහ සිවිල් ක්රියාකාරීන් රැසක් පසුගිය දින කිහිපයේ සත්යග්රහය පැවති කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණියා.
ඒ පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ෂණ ශක්තිමත් කිරීම වෙනුවෙන් තම සහයෝගය රජයට ලබාදීම සඳහායි.