තමා සතු දෙයක් වෙනත් කෙනෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් දීම හෝ පූජා කිරීම දානය ලෙස බුදු දහමේ උගන්වා තිබේ. දානය නොහොත් දීමට බුදු දහමේ ලබා දී ඇත්තේ ද සුවිශේෂී ස්ථානයකි. එලෙස දන් පිංකම් කිරීම විවිධ පිරිස් විවිධ ආකාරයෙන් සිදුකරනු ලබති. රාජරාජ මහාමාත්‍යාදීන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් විවිධ ප්‍රමාණයන්ගෙන් සිය මුදල යොදවා පිංකම් සිදුකනු ලබයි. එහෙත් අද අප මේ ලියන්නට යන කතාව ඊට ගොඩක් හාත්පසින්ම වෙනස් වූ කතාවකි.
හක්මන, දෙනගම පිහිටි තල්ගහහේන බටහිර කොටසේ පිහිටි කැලෑකොටසේ ජීවත් වන, මීගහලන්ද දුරගේ ගිමාරා පවුලේ එකම දරුවා විය. විවාහ වුවහොත් සිය වයෝවෘද්ධ දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමට නොහැකි වේවි යන බිය නිසා ගිමාරා, එකදු විවාහ යෝජනාවකට ද කැමැති නොවූවාය. ගොවිතැන් කටයුතු සිදුකරගෙන සිය දෙමාපියන් දෙදෙනා ද රැකබලාගෙන හිටිය ගිමාරාට තනිවන්නට සිදුවූයේ මවත් පියත් දෙදෙනාම මියයෑම නිසාය. ගිමාරාට දැන් වයස 77කි. ගිමාරා අද අපේ කතා නායිකාව වන්නේ සුවිශේෂී පිංකමක් නිසාය. ජනාධිපතිවරුන්ගේ සිට මහා දානපතියන් දක්වා විශාල පිරිසයක් යන එන වැඳුම් පිදුම් කරන කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පිවිසෙන මාර්ගය කැට ගල් අතුරා පිළිසකර කිරීමේ පිංකම සිදුකළේ ගිමාරා විසිනි. සිය දෙමාපියන්ට පිං දෙන්නට මේ පිංකම ගිමාරා සිදුකළ අයුරු ද ඉතා අපූරුය. හිත ඇත්නම් පත කුඩාද යන කියමන ද ලෝකයටම ඔප්පු කිරීමට සමත් වී තිබේ.
මේ ඒ පිළිබඳ කතාව ගිමාරා අපට විස්තර කළ අයුරුයි.
මගේ ගම හක්මන, දෙනගමයි. දෙනගම, තලගහහේන බටහිර කියලා තමයි මම ඉන්න කොටසට කින්නේ. ඒ කාලේ නම් මේ කොටසේ පවුල් කිහිපයක් හිටියා. නමුත් මේ කොටසට යන්න එන්න කිසිදු පහසුකමක් නැති නිසා ගමේ හිටිය අනිත් අය මේ ඉඩම් අතහැරලා ගියා. දැන් ඉන්නේ මම විතරයි ඒ කොටසටම. යන්න එන්න පාරක්වත් නෑ හරියට. රෑට වන සතුන් තමයි හතර වටේම ඉන්නේ. මම අම්මා තාත්තා එක්ක මේ ගෙදර තමා හැදුණෙ වැඩුණේ. මම ස්කෝලේ ගියේ දෙනගම බටහිර මහා විද්‍යාලයට. 1964 දි තමයි මම සාමාන්‍ය පෙළ ලිව්වේ. ඒ වෙලාවේ මට වැඩ අටක් එක්ක සම්මාන දෙකක් තිබුණා. ඉතින් ඉන් එහාට වැඩිදුර ඉගෙන ගන්න ආසාව තිබුණට ඒකට මට හොඳ පරිසරයක් තිබ්බේ නෑ. මොකද මගේ අම්මා තාත්තා ගොවිතැන් වැඩ කළේ. ඉතින් ඒ දෙන්නට හැමදාම මේවා කරන්න බැරි නිසා මට ඔනෑ වුණේ ඒ දෙන්නට සලකන්න මොකක් හරි රස්සාවක් හොයාගන්න. එහෙම ඉන්නකොට මට ඇඹිලිපිටිය කඩදාසි ෆැක්ටරියේ රස්සාවක් ලැබුණා. මම කාලයක් ඒකෙ වැඩ කරගෙන යද්දී කඩදාසි කම්මල වහලා දැම්මා. ඊට පස්සේ මම කොළඹ, රත්මලානේ පිහිටි ගාමන්ට් එකක රස්සාවට ගියා 1970 වසරේදි.
පුංචි පඩියක් මට ඒ කාලේ ලැබුණේ. කොහොම හරි මම ඒ ගාමන්ට් එකේ 1994 වෙනකම් වැඩ කළා. තාත්තයි අම්මයි දෙන්නම නැති වුණාට පස්සේ මම රස්සාවට යන එක නවත්තලා ගෙදර ඇවිත් අම්මාට තාත්තාට පිං දෙන්න පිංකම් කරන්න පටන් ගත්තා. මම ඒ පිංකම් කරන්න මුදල් හොයාගත්තේ ගෙදර තියෙන බුලත් කඩලා, ඉරටු සුද්ද කරලා සහ ගෙදර ඉඩමේ පොඩියට හැදෙන මඤ්ඤොක්කා අල හා කොළ එකතු කරලා විකුණලා ලැබෙන මුදලින්. මම දෙමාපියන්ට පිං දෙන්න 1998 දි දෙනගම පන්සලේ දොළොස්මහේ පහනක් හදලා පූජා කළා. ඊට පස්සේ දවසක තමා මන් අම්මාට තාත්තාට පිං දෙන්න කියලා හිතාගෙන කතරගමට ආවේ. ඒ ආව වෙලාවේ කිරිවෙහෙර වැඳගෙන මම පහළ මළුවට එනකොට එවකට කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුරෑත්වැවේ සෝරත නාහිමියන් මට මුණගැහැණා. ඒ වෙලාවේ උන්වහන්සේ සමග මම කතා කළා.
ඒ වෙලාවේ මම හිතාගත්තා අම්මා තාත්තා වෙනුවෙන් කිරිවෙහෙර පංසලේ පිංකමක් කරන්න ඕනි කියලා. කොහොම හරි ඒ කාලේ මම ගාමන්ට ගිය එකට මට පොඩි ගාණක් ලැබිලා තිබුණා. එදා ඉඳන් මම නිතර නිතර කිරිවෙහෙර පන්සලට ආවා ගියා පිංකම්වලට.සිල් ගන්නත් මම කිරිවෙහෙරට ආවේ. බස් පහසුකම් නැති නිසා මම කිලින් දවසේ ඇවිත් කතරගම කිරිවෙහෙර ළඟ කොහෙට හරි වෙලා ඉඳලා උදේ තමා සිල් ගන්න සම්බන්ධ වුණේ. ඉතින් මට ඒ වෙලාවේ හිතුණා කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත යන මාර්ගය කැට ගල් අතුරලා සකස් කළා නම් හොඳයි කියලා. කොහෙම හරි මම මේක හිතේ තියාගෙන මුදල් එකතු කරනකොට එවකට හිටිය කිරිවෙහෙර පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුණා. කොහොම නමුත් මගේ ආසාව මම අත්හැරියේ නෑ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. මම මේ සඳහා බුලත් විකුණලා, ඉරටු සුද්ද කරලා මඤ්ඤොක්කා විකුණලා මුදල් එකතු කළා.
එහෙම සල්ලි ටිකක් එකතු කරගෙන ඇවිත් මම කිරිවෙහෙර රජමහා විහාරයේ දැන් ඉන්න අපේ කොබවක ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ හමුවෙලා මගේ ආසාව ගැන මන් කිව්වා. නායක හාමුදුරුවෝ මට ඒකට අවස්ථාව සලසලා දුන්නා. කොහොම හරි මම මගේ මියගිය අම්මාට තාත්තාට පිං දෙන්න කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අසලට යන මාර්ගය කැට ගල් අතුරා පිළිසකර කරලා 2021 අවුරුද්දේ ඇසළ පෝය දවසේ පූජා කිරීම කළා. මට පුදුම සතුටක් තියෙන්නේ දැන් කිරිවෙහෙරට යන එන බැතිමතුන් මේ මතින් යනකොට. මගේ අම්මා තාත්තාට ඒ පිනම ඇති. මට දැන් අවුරුදු 77ක් වෙනවා. අදටත් මම පුළුපුළුවන් විදිහට බුලත් විකුණලා ගන්න සල්ලිවලින් පිංදහම් කරනවා. මට දැන් වයසත් එක්ක මේ ගෙදර ඉඳන් වැඩපළ කරගන්න බෑ. ඒ නිසා මන්, දැන් වෙනකොහෙට හරි ගිහින් මගේ ජීවිතයේ අවසන් කාලය ගෙවන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ යැයි ඇය පැවසුවාය.
මේ මාහැඟි පිංකම සිදුකළ ගිමාරා පිළිබඳව ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් මෙලෙස පැවසීය.
අපවත්වී වදාළ මගේ ගුරුදේවෝත්තම නායක මාහිමියන්ගේ කාලේ ඉඳන් තමයි මේ උපාසක අම්මා මේ විහාරස්ථානයට යන්න එන්න, වැඳුම් පිදුම් කරන්න පටන් ගෙන තිබුණේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම මේ උපාසක අම්මාට ලොකු ආසාවක් තිබිලා තිබුණා කිරිවෙහෙරට යන පාර කැට ගල් අතුරා පිළිසකර කර දෙන්නත් අම්මා තාත්තාට පිං දෙන්නත්. කොහොම හරි ඒ කාලේ මේක කරගන්න බැරි වෙලා, නායක හාමුදුරුවෝ අපවත් වෙලා. මම මේ පන්සලට ඇවිත් වැඩකටයුතු කරගෙන යද්දි තමයි දිනක් මේ උපාසිකාව මා හමුවෙන්න ඇවිත් මේ ගැන කිව්වේ. ඉතින් මම ඒ අවස්ථාව මේ උපාසක අම්මාට සකස් කරලා දුන්නා. ඉතින් ඉතාමත් ඕනෑකමින් බොහෝම භක්තියකින් යුතුව ගිමාරා මහත්මිය මේ වැඩේ කළා. අදටත් දෙස් – විදෙස් බැතිමතුන් කිරිවෙහෙර වඳින්න පුදන්න යන්නේ මේ ගිමාරා මහත්මිය විසින් සකස් කළ මාර්ගය මතිනුයි. ඇත්තටම මේක මහා ලොකු පිංකමක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේදිම ඉදිකළ ලොව තියෙන එකම දාගැබ තමයි මේ කිරිවෙහෙර පන්සලේ තියෙන්නේ. මේ ගිමාරා මහත්මිය බොහොම දුප්පත් කෙනෙක් වණාට අදහස් අතින් ඉතාමත් පොහොසත් පිංවන්ත කෙනෙක්. ලේසියෙන් කෙනකුට මෙහෙම හිතෙන්නේ නෑ. පිංකම් කරන්න හැමෝටම බෑ. ඒකටත් පිනක් තියෙන්න ඕනි. මේ නිසාම මම මේ කළ පිංකම පිළිබඳව කිරිවෙහෙර මළුවට අතුළුවීමට පෙර ඇති ඝණ්ටාර කුලුන ළඟ ගල් පුවරුවක් සකස් කරලා, මේ පිළිබඳව යන එන සියලු දෙනාට දැකබලා ගන්න සැලැස්සුවා යැයි උන්වහන්සේ පැවසූහ.
අපි මේ නිසාම මේ පිංකම සිදුකළ ගිමාරා මහත්මියගේ නිවස සොයා එහි ගියෙමු. අපි නිවසට යන විටත් ගිමාරා මහත්මිය නිවසේ ඇති බුලත් වැල් කිහිපයකට සාත්තු කරමින් සිටියාය. ඇයගේ නිවසට යන මාර්ගය ද ඉතා දුෂ්කර මාර්ගයක් විය. ඇය ජීවත්ව සිටින නිවස ද ඉතා කුඩාවට සකස් කර ඇති නිවසකි. අප හා කතාබහේ නිරත වූ ඇය නිතරම කිව්වේ, තනියම මේ මහා කැලේ ඉන්න මට මීට වඩා ලොකු ගෙවල් ඕනි නෑ. නිදාගන්න කාමරයක් තිබ්බ නම් හොඳටම ඇති. මේවා මැරෙනකොට ගෙනියන්නේ නැහැනේ කියාය. පිනක් දහමක් කරගත්තොත් මට ඒක මුළු ජීවිත කාලෙටම තියෙනවා. මට ඒ හොඳටම ඇති කියා යැයි ඇය අප සමග පැවසුවාය.