2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ඊයේ (12දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.
අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය ශීඝ්‍ර දියුණුවක් කරා ගෙන යෑම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් පළමුවැන්න ලෙස මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබාදීමේ මහ බැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.
රට ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේදී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.
රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම වෙනුවෙන්ද සියලු දෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.
ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද කියා සිටියේය.
සෑම වසරකම මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.
‘අපේ හෙදියන් – අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රි එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.