සුනඛයාට පහර දී ඝාතනය කළ දෙදෙනාට ඇප ලබා දෙයි

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ බල්ලෙකුට පහර දී එම බල්ලා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (19) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාල නඩුව 2025 ජූලි 30 දින නැවත කැඳවන බවත් මහේස්ත්‍රාත්වරයා අක්මීමන පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ ගාල්ල, බටදූව ප්‍රදේශයේ පදිංචි තේලම්භ ආරච්චිගේ තුසිත උදය කුමාර (37) සහ එම ලිපිනයේම පදිංචි තේලම්භ ආරච්චිගේ අජිත් සුජීව කුමාර (34) නැමැති දෙදෙනාය.

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ පදිංචි අද්දුටුව ගමගේ ප්‍රියානි (52) නැමැති අය විසින් අක්මීමන පොලීසියට ඊයේ (18) දින කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.

බල්ලාට පහර දීම සදහා සැකකරුවන් පැමිණි බව කියන රතු පැහැති ත්‍රීරෝද රථය සහ පහර දුන් බව කියන පොල්ලද පොලීසියේ බාරයට ගෙන තිබේ.

පසුගිය 11 දින සැකකරුවන් විසින් සිය නිවසේ ඇති කරන ලද බල්ලාට නිවස අසලදී පොල්ලකින් පහර දී ඇති බවත් පහර කෑමෙන් බල්ලා මරණයට පත්ව තිබෙන බවත් පැමිණිල්ලේ සදහන් වේ.

මෙම බල්ලා පැමිණිලිකරුගේ නිවස ආසන්නයේ රැදී සිටිමින් පාරේ යන යතුරුපැදි ත්‍රීරෝද රථ ආදියට බුරමින් එලවාගෙන යන බවත් එම නිසා ඇති වූ කෝපය හේතුවෙන් බල්ලාට පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම බල්ලා එලවාගෙන යෑම හේතුවෙන් ඇතැම් යතුරු පැදි අනතුරට ලක්ව තිබෙන බවට පරීක්ෂණ වලදී තොරතුරු හේලි වූයේ යැයිද සැකකරුවන් දෙදෙනා එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙක් යැයි ද අක්මීමන පොලීසිය කියයි.

පැමිණිලිකාරිය හා සැකකරුවන් ඉතා හොදින් හදුනන සම්බන්ධකම් තිබෙන අය බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *