කොළඹ බලය අල්ලන්න කලින් නගරාධිපති ගැන එකඟතාවකට එන්න – මන්ත්‍රී හකීම් සජබයෙන් ඉල්ලයි

කොළඹ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා සෙසු පක්ෂවල සහාය ලබාගැනීමට පෙර නගරාධිපති ධුරයට නම් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා සෙසු පක්ෂ අතර එකඟතාවක් ඇතිකරගත යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සමගි ජන බලවේගය මුලින් නගරාධිපති ධුරයට නම් කරන ලද පුද්ගලයා වෙනුවට දැන් අලුත් නමක් යෝජනා කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වූ සභිකයන් දිවුරුම් දීම නිමිත්තෙන් පෙරේදා (04) මහනුවර මහයියාව පක්ෂ කාර්යාලයේදී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ බව කීවේය.

“කොළඹ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මා සමඟ සාකච්ඡා කළා.

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් නගරාධිපති පත්කර ගැනීමට අවස්ථාව තිබෙන බව දැනට තිබෙන ආරංචි මාර්ගවලින් තහවුරු වෙනවා. නමුත් අන්තිම මොහොත වෙනකල් එය තීරාණාත්මකයි.

නගරාධිපති ධුරයට පත් කරන්න යන කෙනා සම්බන්ධව ඒ වෙනුවෙන් සන්ධානගත වන පක්ෂ සමඟ සමගි ජන බලවේගය සාකච්ඡා කළ යුතුයි. කොළඹ මහ නගර සභාවේ වැඩිපුර මන්ත්‍රී ධුර හිමිව තිබෙන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට තීරණවලට එළඹිය හැකියි. නමුත් බලය ලබාගැනීමට සෙසු පක්ෂවල සහාය අවශ්‍ය නම් අදාළ තීරණ පිළිබඳව සාකච්ඡා කර සම්මුතියක් ඇතිකර ගත යුතුයි.

යම් යම් මතභේද ඇති නොවී සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් සමගි ජන බලවේගයේ නායකත්වය අපත් සමඟ සාකච්ඡා කරයි කියලා අපි හිතනවා. නගරාධිපති ධුරයට පත් කරන තැනැත්තා සම්බන්ධව අප අතර එකඟතාවක් ඇතිකරගත යුතුයි.

මහ නගර සභාවේ පුරපති ධුරයට යෝජනා කළ පුද්ගලයා වෙනුවට දැන් වෙනත් අයකු යෝජනා කරනවා. ඒ සම්බන්ධව අපට සෑහිමකට පත්විය හැකි ආකාරයේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *