මේක මහත්තයා පිරූ දාන පාරමිතාවක් වෙන්න ඇති -බිරිය කියයි
මොළය සම්පූර්ණයෙන් මිය ගිය පුද්ගලයකුගේ නීරෝගි අවයව තවත් රෝගීන්ට බද්ධ කිරීමට එම අවයව ලබාගැනීමේ සාර්ථක සැත්කමක් හම්බන්තොට මහ රෝහලේදී ඉකුත්දා (08) සිදු කෙරිණි.
මෙලෙස කළ සැත්කමින් මේ රෝගියාගෙන් ලබාගත් වකුගඩු දෙකක් තවත් රෝගීන් දෙදෙනකුට බද්ධ කර තිබේ. හම්බන්තොට මහ රෝහලට ඉකුත් ජූනි මාසයේ දිනක තදබල හිසේ කැක්කුමකින් පෙළෙන රෝගියෙක් ඇතුළත් කර ඇත. රෝගියාට කළ සීටී ස්කෑන් පරීක්ෂාවට අනුව මොළයේ සිදුවන රුධිර වහනයක් සම්බන්ධයෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මොළයේ සැත්කමක් කිරීමට ගාල්ල කරාපිටිය ජාතික රෝහලට යොමු කර සැත්කමට භාජන කර නැවත හම්බන්තොට මහ රෝහලට එවා දැඩි සත්කාර ඒකකයේ දින කීහිපයක් ප්‍රතිකාර ලබා ඇත.
මොළයට සිදුවී ඇති තදබල හානි හේතුවෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ගැනීමෙන් පසු රෝගියාගේ බිරිය හා ඥාතින් දැනුම්වත් කිරීමට පියවර ගත් බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව මොළය මිය ගිය රෝගියාගේ සෙසු අත්‍යවශ්‍ය ශරීර අවයව ද ටිකෙන් ටික මියයෑම සිදුවන හෙයින් ඉතාම කඩිනමින් එම අවයව සැත්කමකින් ඉවත් කර ගතහොත් තවත් රෝගීන් අට දෙනෙකුගේ ජීවිත රැකගැනීමට හැකිවන බව වෛද්‍යවරුන් ඥාතීන්ට පැහැදිලි කරදී ඇත.
ඒ අනුව මොළය මියගොස් දැඩි සත්කාර ඒකකයේ සිටින මේ රෝගියාගේ බිරියගේ සහ ඥාතීන්ගේ අවසරය අනුව වකුගඩු දෙක ලබා ගැනීමේ
සැත්කම හම්බන්තොට මහ රෝහලේදී කිරීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
රෝගියාගේ ඥාතීන්ගේ කඩිනම් තීරණය හා සහාය අනුව මොළය මියගොස් සිටි රෝගියාගේ වකුගඩු ලබාගැනීමේ විශේෂ සැත්කම විශේෂඥ වෛද්‍ය ඩී.එම්.ජී. අමරසිංහ මහතා ප්රමුඛ හම්බන්තොට මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කසුන් ප්රභාසර, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය හිරුෂක ද සිල්වා, වෛද්‍ය මහේෂ් ප්‍රියන්ත හා ශල්‍යාගාරයේ සියලුම කාර්යමණ්ඩලය මඟින් මේ සැත්කම සාර්ථකව සිදු කිරීමට දායක වූහ.
මොළය මියගොස් සිටින ඕනෑම පුද්ගලයකුගෙන් ඉතා කඩිනමින් රෝගියාගේ පාර්ශ්වයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අවයව වන හෘද වස්තුව, අක්මාව, වකුගඩු, පෙණහලු, බඩවැල්, අග්න්‍යාශය, අස්ථි, සම හා ඇස් ලබාගැනීමට හැකිවන අතර එම අවයව බද්ධ කිරීමෙන් තවත් ජීවිත අටක් නැවත ජීවත් කරවීමට හැකිවන බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය. ඒ අනුව හම්බන්තොට මහ රෝහලේ මෙදින කළ සැත්කමින් එම රෝගියාගෙන් වකුගඩු දෙක පමණක් ලබාගෙන තවත් රෝගි පුද්ගලයන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කිරීමටද හැකි වූ බවද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රෝගියාගේ බිරිය සන්ධ්‍යා කුමුදුනි මහත්මිය,
“මිය ගොස් සිටින්නේ මගේ සැමියා ප්‍රදීප්. ඔහුට වයස අවුරුදු 49යි. හම්බන්තොට මානජ්ජාව මැඩිල්ල පදිංචිව සිටින්නේ. මහත්තයා හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැඩ කළේ. එදින දවල් කෑම ගන්න හදන විට හිසේ කැක්කුමක් ඇවිත් තිබුණා. ඒ වෙලාවේම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබුණා. මහත්තයාගේ මොළයේ නහරයක් පිපිරිලා ලේ ගලනවා කියා කරාපිටිය මහ රෝහලට යවා සැත්කමක් කළා. නැවත හම්බන්තොටට ගෙනාවා. වෛද්‍යවරු මට කීවා දැන් මහත්තයාගේ මොළය මැරිලා. ජීවත් කරවන්න තිබෙන තත්ත්වය එන්න එන්නම අඩුවෙනවා කියලා. මහත්තයාගේ ශරීරයේ තිබෙන අනික් අවයව ද ටිකෙන් ටික මිය යන නිසා වකුගඩු දෙක සැත්කමකින් ලබාගත හොත් තවත් ජීවිතයක් බේරා ගැනීමට පුළුවන් කීවා. මගේ මහත්තයා මියයන බව මම හොඳටම දැනගෙන තවත් ජීවිතයක් වෙනුවෙන් ශරීරයේ කොටස් දන් දෙන්න මහත්තයාගේ නාමයෙන් මමත් දරුවාත් පවුලේ අයත් කැමැත්ත පළ කළා. ජීවිත දානය දන්දීලා ශරීර කොටස් දීම කළා. මහත්තයා මට අද අහිමි වුණත් මම නොහඳුනන තවත් රෝගී පුද්ගලයන්ට මගේ මහත්තයාගේ ශරීරයේ කොටස් බද්ධ කර ඒ අය ජීවත් කරවීම මගේ මහත්තයා කළ දාන පාරමිතාවක් වෙන්න ඇතැයි මා සිතනවා.”