බෙංගාල බොක්ක කැළඹෙයි – ලංකාවට මහ වැස්සක් එයි

බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් ඇති අඩු පීඩන කලාපය ඊට හේතුවී තිබේ.

දකුණු අන්දමන් දූපත් අසල එම පීඩන අවපාතය මේ වනවිට ස්ථාන ගතව පතියී.

එය ඉදිරි දින කිහිපයේදි දිවයිනේ නැගෙනහිර වෙරළබඩට ආසන්නව බෙංගාල බොක්ක දෙසට ගමන් කරනු ඇතිබව පැවසීය.

මේ හේතුවෙන් 24,25,26 දිනවල දිවයින තුළ ඇති වර්ෂාපතනයයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව පැවසීය.

එම තත්ත්වය උතුරු ,උතුරු මැද ,නැගෙනහිර ,වයඹ ,දකුණ සහ ඌව පළාත් වල වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකිය.

එම පළාත් වල උදෑසන කාලයේ අඳුරු කාලගුණයක් පැවතිය හැකිය.

එම පළාත් වල ඇතැම් ස්ථාන වලට 150mm දක්වා වැසි ඇතිවිය හැකිය.

සෙසු පළාත් වලට අපර භාගයේදී හෝ සන්ධ්‍යාකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පැවසීය.

හෙට (24) සිට ලබන අඟහරුවාදා (26) දක්වා උතුරු,නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව එහිදී පැවසීය.

එම මුහුදු ප්‍රදේශ රළු වීම ඊට හේතුවයි.

එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ⁠කෑගල්ල, ⁠යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ⁠අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠ඉඹුල්පෙ, ⁠ඕපනායක, ⁠බලන්ගොඩ, ⁠රත්නපුර, ⁠පැල්මඩුල්ල සහ ⁠කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *