උසස් පෙළ ඉහළින්ම සමත් වූ සිසුන්ට විදෙස් සරසවිවල උපාධිය හදාරන්න රජයෙන් ශිෂ්‍යත්ව ලබා දෙයි

 2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාලයන්හි ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව උදා කර දෙමින්, එහි පළමු කණ්ඩායම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කර තිබෙනවා.

ඒ අනුව, මෙම වැඩසටහන මඟින් 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂිතයි.

මෙහි මූලික අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 32 ක් මේ වන විටත් තෝරාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉන් සිසුන් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී සිටිනවා.

ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර, සිසුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල (QS, THE හෝ ARWU) මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබිය යුතු වනවා.

තෝරාගනු ලබන එක් සිසුවෙකු වෙනුවෙන් වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, වසර හතරක සම්පූර්ණ උපාධි කාලය සඳහා රුපියල් මිලියන 80 ක් දක්වා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *