පසුගියදා මෙරට පැවැත්වූ ‘සාම පාගමන’ සහ ඒ ආශ්‍රිතව සිදුවූ ඇතැම් සිදුවීම් දැඩි විවේචනයට ලක් කරමින් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අදහස් දක්වා තිබෙනවා.
එහිදී උන්වහන්සේ අවධාරණය කළේ වර්තමාන ශ්‍රී ලාංකික සමාජය බුද්ධිමත් දේ වැළඳගනු වෙනුවට මිත්‍යාව සහ පටු ආකල්ප පසුපස හඹා යන බවයි.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් බල්ලකු රැගෙන යාමේ සිදුවීමක් උදාහරණයට ගනිමින් උන්වහන්සේ මෙසේ පවසා සිටියා.
“පසුගිය සතියේ මම දැක්කා කැලණිය පන්සලේ මනුස්සයෙක් තමන්ගේ ගෙදර බල්ලා අරගෙන ගිහින්, ඌ ‘ආලෝක’ කියලා ඌට වඳින්න යනවා. බුදුන් වඳින්න ඕනෑ දෑතින් අද බල්ලන්ට වඳින තැනට ජාතියක් විදිහට අපි පත්වෙලා. මේක තමයි අපේ රටේ හැටි. රට වෙනුවෙන් වැඩ කරන මිනිහට කෙළලා අරිනවා, හැබැයි කොහේ හරි පිටරටින් බල්ලෙක් ආවොත් උගේ බෙට්ටත් කරේ තියාගෙන දුවනවා.”
විදේශ රටවලින් ගත යුත්තේ සතුන් නොව, එම රටවල පවතින හොඳ සංකල්ප, හික්මීම, අධ්‍යාපනය සහ මානව ධර්ම බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
සමාජයේ පවතින මෙම පසුගාමී තත්ත්වය හමුවේ නිහඬව සිටිය නොහැකි බැවින්, අලුත් ලෝකයට ගැළපෙන නව සංකල්ප නිර්මාණය කිරීමට තමන් වහන්සේ කටයුතු කරන බවද උන්වහන්සේ සඳහන් කළා.
දේශීයව සේවයක් කරන පුද්ගලයාට වඩා විදේශයකින් පැමිණි සතෙකුට සමාජය සැලකීම කණගාටුදායක බවත්, රටක් ලෙස දියුණු වීමට නම් විදේශයන්ගෙන් ගත යුත්තේ සිරිත් විරිත් සහ උසස් මානව ධර්මයන් බවත් උන්වහන්සේ අවධාරණය කළා.
තමන් වහන්සේද බල්ලෙකු එල්ලාගෙන පාරේ ගියේ නම් ජනතාව තමන්ටද වඳිනු ඇති බවත්, නමුත් එවැනි “බල්ලන් පෙන්වා වැදුම් ලැබීමේ” අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
Source : News19