නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාණදුර නගරයේදී පසුගිය 24 දා පැවති රැලියට ගොඩවීමට තමා ගත් තීරණය ගැන කනගාටු වන බව සමගි ජන බලවේගයේ පාණදුර ආසනයේ තරුණ කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කළ නිර්මාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (28) කතරගමදී පැවති මාධ්‍ය හමුවේදී ය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
“මම සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ පාණදුර ආසනයේ තරුණ කටයුතු ලේකම්වරයා. ඒ වගේම මාධ්‍ය ලේකම්වරයා. මම 2019 වසරේ ඉඳලාම සමගි ජන බලවේගය සමඟයි කටයුතු කළේ. නමුත් පසුගිය කාලේ මේ ප්‍රදේශයට උඩින් පාත්වුණු ඇතැම් ආසන සංවිධායකවරුන්ගේ නොමනා ක්‍රියාකලාප නිසා මම යම් කලකිරීමකට පත්වෙලා හිටියේ. මේ සම්බන්ධයෙන් මම අවස්ථා කිහිපයකදීම පක්ෂයේ ඉහළ නායකත්වයට පවා මේ බව දැනුම් දුන්නා. නමුත් ඒවා විසඳුණේ නෑ. මම බොහොම හිත් වේදනාවකින් හිටියේ.”
“එහෙම ඉද්දී මම ගත්ත හදිසි තීරණයක් නිසා තමයි පසුගිය 24 වැනි දින පාණදුර නගරයේ පොදුජන එක්සත් පෙරමුණ පැවැත්වූ රැලියට මම සහභාගි වුණේ. ඉතින් මට තවමත් වුණේ මොකද්ද කියලා හිතාගන්න බෑ. ඒ නිසා මම ගත්ත ඒ හදිසි තීරණය නිසා අද මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම මම ඒ ගත්ත හදිසි තීරණය නිසා සමගි ජන බලවේගයේ හෝ පොහොට්ටුවේ යම් කෙනකුට කිසියම් හෝ අපහසුතාවක් සිදු වුණා නම්, මම ඒ හැම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා.”