ගිය ආණ්ඩුවේ නිලධාරීන් ඇතුළු මැති ඇමතින්ගේ වත්කම් විමර්ශනය කඩිනමින් වේගවත් කරයි

පසුගිය රජයේ හිටපු ප්‍රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් තිහකට ආසන්න පිරිසකගේ වත්කම් විමර්ශන කඩිනම් කොට ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

විශේෂයෙන්ම, 2020 සිට 2024 දක්වා වූ කාලය තුළ සිටි ප්‍රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් මීට ඇතුළත් වන බව ද වාර්තා වේ.

ඇතැම් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරි කටයුතු සඳහා භාර දෙන බව ද සඳහන් වේ.

මෙම විමර්ශනවලට බඳුන් වන්නන් අතර චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, කංචන විජේසේකර, මනූෂ නානායක්කාර, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් ද සිටින බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

එමෙන් ම, ඊට අදාළ අමාත්‍යාංශ හා වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක අයුතු ලෙස වත්කම් ඉපයූ නිලධාරීන් විශාල පිරිසකගේ ද වත්කම් විමර්ශනය කඩිනමින් සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය සමයේ රාජ්‍ය මුදල් අයුතු ලෙස අවභාවිත කළ පැමිණිලි ගණනාවක් අදාළ විමර්ශන ආයතනවලට ඉදිරිපත් කොට ඇති අතර රාජ්‍ය ආයතන ගණනාවක ද සිදුව ඇති දූෂණ ගණනාවක පැමිණිලි ද ඒ අතර වේ.

Source : ඉරිදා මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *