ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් දේශපාලනඥයන් පිළිබදව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුව හමුවේ අනාවරණයක් සිදු කළේ ය.
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් දේශපාලනඥයන් අතර, දයාසිරි ජයසේකර ද සිටින බව ඔහු එහිදී පැවසූවේ ය.
මේ චෝදනාවට අදාලව දයාසිරි ජයසේකර පවසා තිබුණේ, 2015 වසරේ දී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තමන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් වූ බවත්, එම අවස්ථාවේ දී එවකට ජනාධිපතිවරයාට සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ සුවදුක් බැලීමට පැමිණ, රෝහල් ගාස්තුවෙන් කොටසක් ජනාධිපති අරමුදලෙන් ගෙවීම සදහා කටයුතු සම්පාදනය කළ බවයි.
දයාසිරි ජයසේකර මහතා ඉන් අදහස් කර සිටියේ රෝහල් ගාස්තුව ජනාධිපති අරමුදලෙන් තමන්ට ලැබුණු මුදලට වඩා වැඩි අගයක් ගත් බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති බවත් එම විමර්ශනයේ දී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව හෙළිව ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුව හමුවේ පවසා සිටියේ ය.
හදවත් සැත්කම හෝ ඒ හා සම්බන්ධ ප්‍රතිකාර සදහා ජනාධිපති අරමුදෙලන් ලැබුණු මුදලට වඩා වැඩි මුදලක් තමන්ට වැය වූ බව පෙන්වීමට දයාසිරි ජයසේකර විමර්ශකයන්ට හොර බිල්පත් ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍යවරයා පවසයි.
මීට පෙර අවස්ථාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද, ජනාධිපති අරමුදලෙන් ලබා ගත් මුදලින් කොටසක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය බැංකු ගිණුමකට බැරකරගෙන ඇති බව දැන ගන්නට ඇතැයි පවසා සිටියේ ය.
එම අවස්ථාවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ එම චෝදනාව සත්‍ය නොවන බව හැගවීමට උත්සාහ කරන බවක් පෙනුණි.