තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් නීතිමය රාමුව යටතේ සේවයට ලබා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති අතර, දෙරට අතර කම්කරු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්විවත් (Julapun Amornvivat) මහතා විසින් කම්කරු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුම (MoA) යන ද්විත්ව ගිවිසුම්වලට ඊයේ (14) අත්සන් තබන ලදි.
දෙරටේ අදාළ බලධාරීන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සකස් වූ මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ සේවයේ යෙදවීම සඳහා සංවිධානාත්මක හා විනිවිද පෙනෙන රාමුවක් ස්ථාපිත කෙරේ. එමෙන්ම ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.
මෙම අවබෝධතා ගිවිසුම (MoU) මඟින් කම්කරු ප්‍රතිපත්ති, කම්කරු වෙළඳපොළ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම උත්පාදනය, ශ්‍රමික ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධි ලෙස බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන ක්ෂේත්රයන්හි සහයෝගිතාව සඳහා පදනම වැටේ.
අනෙක් ගිවිසුම (MoA) මඟින් විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි, රැකියා ගිවිසුම්, නීතිමය ආරක්ෂාව, සුබසාධනය, වීසා, වැඩ බලපත්‍ර සහ ආපසු පැමිණීමේ විධිවිධාන ඇතුළු ප්‍රායෝගික වැඩපිළිවෙළ ස්ථාපිත කෙරේ.
ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ තායි රජයට කෘතඥතාව පළ කළ අතර ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරි කමිටුවක් (Joint Working Group) පිහිටුවීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ (IT) සහ සංචාරක ක්ෂේත්රයන්හි රැකියා අවස්ථා ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා තායි රජයෙන් ඉල්ලා සිටියේය.
මෙම රාමුව යටතේ සේවයට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තායිලන්ත කම්කරු නීතිය යටතේ නීත්‍යනුකූල වේතන, ප්රතිලාභ සහ සෞඛ්‍ය රැකවරණය ඇතුළුව සමාන අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමිවන බව තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්විවත් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සිය විදේශ රැකියා ගමනාන්ත විවිධාංගීකරණය කරමින් පවතින අතර, තායිලන්තය සහ අග්නිදිග ආසියානු කලාපය වැදගත් නව සේවා ගමනාන්තයන් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් අතර පවතින සමාජීය හා සංස්කෘතික සමානකම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එම නව ජීවන සහ සේවා පරිසරයන්ට පහසුවෙන් හැඩගැසීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.