සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමෙන් රජයට පාඩුවක් කිරීමේ චෝදනාවට හිටපු අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරන ලද තවත් නඩුවක අධිචෝදනා ඊයේ (03දා) භාර දෙන ලදි.
අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත. එමඟින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා 4ක් නඟා ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ අධිචෝදනා භාර දුන් අවස්ථාවේ විත්තිකරුවන් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ සියලු චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටියේය.
2010 වසරේ ජූලි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළදී වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් පහළොස් ලක්ෂ එක්දාස් නවසිය තුනක් හා ශත දහතුනක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ. හිටපු වෙළෙඳ ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ හැටියට කටයුතු කළ මොහිදින් මොහොමඩ් ශාකීර් ඇතුළු විත්තිකරුවන් මෙම නඩුවේ චූදිතයන් වේ. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාවට සහ දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව හා නියෝජ්‍ය අධ්‍යක්ෂ අමා විජයසිංහ යන මහත්මීහු පැමිණිල්ල මෙහෙයවූහ. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරු විත්තිකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.