මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද – ආස­න­යක මිල රුපියල් 40,000ක් දක්වා ඉහළට

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ අව­සන් රන්දෝලි මහ පෙර­හර නැර­ඹීම සඳහා පනවා තිබෙන ඇතැම් ස්ථාන­වල ආසන මිල රුපි­යල් 40,000ක් දක්වා ඉහළ දමා තිබේ. මහ­නු­වර ඇසළ පෙර­හරේ අව­සන් රන්දෝලි මහ පෙර­හර අද (27) වීදි සංචා­රය කරයි.

පෙර­හර ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 6.43ට උතුරු දිශා­භි­මු­ඛව පිටත්ව දළදා වීදිය, යටි­නු­වර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළ­ට­විත් ගෙව­දී­මට නිය­මි­තය.
මෙදින සධා­තුක කර­ඬුව වැඩම කරන මංගල හස්ති රාජයා උඩු­වි­යන් සහි­තව පාවඩ මතින් ගමන් කිරීම විශේ­ෂ­ත්ව­යකි.

ශ්‍රී දළදා මාලි­ගාවේ පෙර­හර ගෙව­දී­මෙන් පසු සධා­තුක කර­ඬුව රැගත් පෙර­හර මධ්‍යම රාත්‍රි­යේදී යළි ආදා­හන මළුව ගෙඩිගේ රජ මහා විහා­ර­ස්ථා­නය දක්වා පැමිණ කර­ඬුව එහි තැන්පත් කරනු ලබයි.

අන­තු­රුව දේවාල පෙර­හර හෙට (28) අලු­යම ගැටඹේ තොට දක්වා ගමන් කර දිය කැපීමේ මංග­ල්‍යය පැවැ­ත්වී­ම­ටත් පසුව දවල් පෙර­හර හෙට (28) වීදී සංචා­රය කිරී­ම­ටත් නිය­මි­තය. මහ­නු­වර මහ නගර සභාව මඟින් අව­සන් රන්දෝලි මහ පෙර­හර ක්වින්ස් කොරි­ඩෝවේ සිට නැර­ඹීම සඳහා ආසන පනවා තිබෙන අතර එහි පළමු පෙළ ආස­න­යක මිල නියම කර ඇත්තේ රුපි­යල් 28,000කටය.

එම ආසන සියල්ල විකිණී අව­සන් බව නාග­රික කොම­සා­රිස් ඉන්දිකා අබේ­සිංහ මහ­ත්මිය පැව­සු­වාය. පෙර­හර ආසන වැඩි මිලට අලෙවි කරන බවට තොර­තුරු තම­න්ටද ලැබී තිබෙන බවත් ආසන සම්බ­න්ධ­යෙන් මිල පාල­න­යක් කිරීමේ හැකි­යාව පෙර­හර භාර­යට නොමැති බවත් එහි සභා­පති, ගඟ­වට කෝර­ළය ප්‍රාදේ­ශීය ලේකම් අමිල නව­රත්න මහතා පැව­සීය.

ජන­තා­වට දරා­ගත නොහැකි ලෙස පෙර­හර ආසන මිල ඉහළ දැමීම නතර කිරීම සඳහා මිල පාලන ක්‍රම­යක් හඳු­න්වා­දීමේ දැඩි අව­ශ්‍ය­තා­වක් තිබෙන බවත් ලබන වසරේ සිට එවැනි වැඩ­පි­ළි­වෙ­ළක් හඳු­න්වා­දීම සඳහා යෝජනා ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බවත් ඒ මහතා කීය.

පෙර­හර ගමන් කරන වීදි සියල්ල ඊයේ (26) දහ­වල් වන­විට ජන­තා­ව­ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර ඇතැම් පිරිස් නග­රයේ වීදි­වල ඉටි රෙදි එළා ඉඩ අල්ලා ඒවා රුපි­යල් 3000 – 4000 වැනි මිල ගණ­න්ව­ලට විකි­ණීමේ සිද්ධි ද පොලී­සි­යට වාර්තා වී තිබිණි.

ඇතැම් ස්ථාන­වල රාජ­කා­රියේ නිරත පොලිස් නිල­ධා­රීන් ඔවුන්ගේ ඥාතීන් පෙර­හර වීදි­ව­ලට යොමු කිරීම සම්බ­න්ධ­යෙන් ලැබුණු තොර­තුරු මත ඉහළ නිල­ධා­රීන් විසින් ඔවුන් ගෙන්වා අව­වාද කර තිබෙන බවද දැන­ග­න්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *