පාතාල කල්ලි නායකයකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන කංජිපානි ඉම්රාන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.
කංජිපානි ඉම්රාන් නමැත්තා ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු ලෙස මේ වනවිට නම් කර ඇති මලයාසියා පොලිසිය ඔහු සැඟවී සිටින බවට සැකකරන ස්ථාන රැසක් වැටලීමට කටයුතු කර තිබේ.
එමෙන්ම කංජිපානි ඉම්රාන් මලයාසියාවෙන් පලායෑම වැළැක්වීම සඳහා එරට සියලුම ගුවන්තොටුපළවල්, වරායවල්, මුහුදු මාර්ග ඇතුළු රටින් පිටවන සියලුම මාර්ග ඇහිරවීමට මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය කටයුතු කර ඇත.
කංජිපානි ඉම්රාන්ට මලයාසියාවේ ඇති සියලු සබඳතා සහ එරට සිටින ඔහුගේ කල්ලියේ සාමාජිකයන් කීපදෙනකුම හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර තිබේ.
මේ වනවිට මලයාසියා පොලිසිය භාරයේ සිටින කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයා බව කියන රත්මලානේ සයිමා ඇතුළු අපරාධකරුවන් තිදෙනාගෙන් මලයාසියා පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. මෙම සැකකරුවන්ගෙන් කංජිපානි ඉම්රාන් පිළිබඳව මෙන්ම ඔහුගේ සම්බන්ධතා පිළිබඳව ද ඉතාම වැදගත් තොරතුරු රැසක් ලැබී තිබේ.
මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පූර්ණ සහාය සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් වෙත ලැබී ඇත.
එමෙන්ම මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ද පූර්ණ සහාය ඊට ලැබී තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා සෘජු දායකත්වය ලබාදී ඇත.
මෙම මෙහෙයුමේ පැනගිය ප්‍රගතිය නිරතුරුවම විමසමින් ඊට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් පාතාල නායකයා කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මෙම නිලධාරීන් පූර්ණ දායකත්වය ලබා දී තිබේ.
පාතාල නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුමක් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කර තිබිණි. මෙම මෙහෙයුමේදී කංජිපානිගේ ප්‍රධානම ගෝලයා වන රත්මලානේ සයිමා මලයාසියාවේදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සයිමා අත්අඩංගුවට ගත් පුවත සැලවීමත් සමගම කංජිපානි ඉම්රාන් මලයාසියාවේ සැඟවී සිටි ස්ථානය මාරුකර වෙනත් ප්‍රදේශයකට පලාගොස් තිබිණි.
Surce : Divaina