කතරගම දේවාලයේ සල්ලි වලින් හැදූ අපේක්ෂා රෝහලේ ගොඩනැගිල්ල හෙට විවෘත කරයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභිනවයෙන් ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03 දා) විවෘත කෙරේ.

මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර ඇත.

එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙළ කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර තිබේ. තවද නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර ඇත.

එමෙන්ම දරුවන් සිව් දෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකර්ම සිදුකළ හැකි පරිදි ඊට අවශ්‍ය ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා ඇත. මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි. රුහුණු කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බැතිමතුන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයට පුද කළ මුදලින් සිදුකළ හැකිවූ ලොකුම පින්කම මෙය බවයි. මෙම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසකගේම අතින් මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *