මහින්ද නඩු කියා නැවත ඉල්ලන ආරක්ෂාව – පොලිසියේ 180 යි , හමුදාවේ 63 යි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඇගයීම සදහා නව රජය බලයට පත්වීමෙන් පසුව කැබිනට් අනු කමිටුවක් පිහිටුවන ලදී. 

එම කැබිනට් අනුකමිටුව විසින් හිටපු ජනාධිපතිවරුන්ට ලැබී තිබුණු ඇතැම් වරප්‍රසාද කප්පාදු කළ යුතු බවට යෝජනා වූ අතර, එය ක්‍රියාත්මක කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී තිබුණු වරප්‍රසාද සහ ආරක්ෂාව පිළිබද සවිස්තර වාර්තාවක් ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පළමු වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී ප්‍රසිද්ධියට පත් කර තිබුණි. 

ජනාධිපති මාධ්‍ය ඒකකය එම නිවේදනය නිකුත් කර තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පොහොට්ටු පක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කර තිබුණු චෝදනාවන්ට පිළිතුරු වශයෙනි. 

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබුණු එම නිවේදනයට අනුව, හිටපු ජනාධිපතිවරයාට පහත සදහන් වරප්‍රසාද 2024වසරේ නොවැම්බර් මාසය වන විටත් ලැබෙමින් තිබුණි. 

එම වරප්‍රසාද අතර, විශ්‍රාම වැටුප සහ විජේරාම මාවතේ නිල නිවස, මර්සිඩීස් බෙන්ස් රථ දෙකක් සහ ලෑන්ඩ් කෲෂර් රථයක් ඇතුළුව වාහන තුනක්, රියැදුරන් 3 ක් සහ ලීටර් 1950 ක ඉන්ධන දීමනාවක්  පවතී. 

ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන්, හමුදා නිළධාරීන් සහ සෙසු හමුදා නිලයන් වශයෙන් සමස්ත හමුදා  සාමාජිකයන් 63 ක් සහ පොලිස් නිළධාරීන් 180 ක් අනුයුක්ත කර තිබේ. 

නව රජය මෑතක දී හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබුණු ආරක්ෂාව කප්පාදු කළ අතර, ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරීන් හැට දෙනෙකු පමණක් ඉතිරි කොට, අනෙක් පිරිස ඉවත් කර තිබුණි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ, ඉවත් කරන ලද ආරක්ෂාව යළි ලබා දෙන ලෙස ඉල්ලමිනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *