මාතර පන්සලක් කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දන්සලක් දෙයි

කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේලට පැමිණ බඩ පුරවා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.

සෑම දිනකම උදෑසන 5.00 ට ආරම්භ වන මෙම දන්සැල අවසන් වන්නේ රාත්‍රි 8.30 ටය.ඉකුත් 18 වැනි දින මෙම දන්සැල ආරම්භ වු අතර එදින පමණක් කුසගිනි නිවා ගැනීමට 37 දෙනෙකු පැමිණ තිබුණි.

මෙම දන්සැල අවසන් වන දිනයක් මෙතෙක් තීරණය කර නොමැති අතර එය අඛණ්‌ඩව දිනපත් පවත්වා ගෙන යාමට ධම්මසේන නාහිමියන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

විශේෂයෙන්ම උන්වහන්සේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව මේ වන විට නිවාස නොමැති අසරණ පවුල් 113 කට නව නිවාස ඉදි කර දී ඇති සංඝ පීතෘවරයෙකි.එපමණක් නොව ආර්ථීක අපහසුතා සහිත පාසල් දරු දැරියන් හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා මාසිකව රුපියල් ලක්ෂ ගණනින් ශිෂ්‍යාධාර ලබා දෙන හිමි නමකි.

එම නිසාම උන් වහන්සේ හමු වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට දිනකට විශාල පිරිසක් එම පන්සලට පැමිණෙති.

බොහෝ විට ඔවුන් කුස ගින්නේ සිටින බවත් එම දුක් ගින්දර නිවීම අරමුණු කර ගෙන කුසගින්නේ සිටින ඕනෑම කෙනෙකුට බඩ ගින්න නිවා ගැනුමට මෙම දන්සැල විධීමත්ව ආරම්භ කල බව බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කීය.තවද ආහාර සකස් කිරීම සදහා වෙනමම කාර්ය මණ්ඩලයක් හා කුඩා භික්ෂූන් වහන්සේලාගේ ද සහාය හීමි වී ඇත.

image 449f2910ff Iri News
image ca12cd057c Iri News
image 2e796ac6f4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *