පළාත් තරගයට යන්න සල්ලි නැතිව මිහින්තලේ දරුවෝ වාහන සෝදයි

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාපන්දු ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලැබ සිටින මිහින්තලේ මහ විදුහලේ වයස් කාණ්ඩ තුනක දරුවන් උතුරු මැද පළාත් ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පෙරේදා (20 දා) එම විද්‍යාලය ඉදිරිපිට රථවාහන සෝදා දීමේ සේවා කඳවුරක් පැවැත්විය. පාසල් දරුවන් හා දෙමාපියන් එක්ව මේ වැඩසටහන සංවිධානය කර තිබිණ.

පළාත් පාපන්දු තරග පොළොන්නරුව රාජකීය විදුහලේදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම රථවාහන සෝදාදීමේ කඳවුර පැවැත්විය. මිහින්තලේ මහා විදුහලේ දරුවන් වයස අවුරුදු 20න් පහළ, 18න් පහළ හා 16න් පහළ වශයෙන් කාණ්ඩ තුනක දරුවන් පනහක් පමණ පිරිසක් මෙසේ සහභාගි වීමට නියමිතව ඇත.

පළාත් තරගයට යෑමට නොහැකිව ළතැවෙන මිහින්තලේ දරුවෝ වාහන සෝදති

දින තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිය යුතු අතර එම දරුවන්ගේ ක්‍රීඩා ඇඳුම්, සපත්තු මේස්, ක්‍රීඩා උපකරණ, ගමන් වියදම් හා නවාතැන් පහසුකම් සඳහා රු. ලක්ෂ 4කට ආසන්න මුදලක් වැයවන බව දරුවන් හා දෙමාපියෝ පවසති.

මෙම ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් දෙමාපියන් ගොවිතැන් කර ජීවත් වන අතර මෙම දරුවන් පළාත් තරඟ සඳහා යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම ඔවුන්ට සිහිනයක් වී ඇත.

එම නිසා කලාප මට්ටමින් ජයග්‍රහණය ලැබූ පාපන්දු කණ්ඩායම්වල දරුවන් හා දෙමාපියන් මහත් අසීරුතාවයන්ට පත්ව ඇතැයි ඔවුහු කියති.

මේ අනුව සුදුසුකම් ලැබූ දරුවන් කිසියම් හෝ මුදලක් සොයා ගැනීම සඳහා එම පාසල ඉදිරිපිට, මාර්ගයේ ගමන් ගන්නා වාහන සේදීමේ වැඩසටහනක් පෙරේදා (20) දින ක්‍රියාත්මක කෙරිණි.

එම වාහන සෝදා දීමෙන් පසු වාහන රියැදුරන් සතුටින් දෙන මුදලක් එකතු කරමින් මෙම ක්‍රීඩා සඳහා යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන එකතු කිරීමක් දක්නට ලැබුණි.

කිසියම් හෝ දානපතියෙකු ඔවුනට පළාත් ක්‍රීඩා තරගවලට සහභාගි වීම සඳහා ක්‍රීඩා ඇඳුම් කට්ටල, සපත්තු මේස් හෝ ගමන් වියදමක් හෝ ලබාදීමට හැකි නම් ඉමහත් පුණ්‍යකර්මයක් බව දරුවන් හා දෙමාපියෝ සඳහන් කරති. එසේ වුවහොත් දරුවන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් සැලසෙන බවත්, එසේ නොවුවහොත් තමන්ගේ දක්ෂතා සඟවාගෙන පාසල තුළට පමණක් සීමාවනු ඇති බව දරුවන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *