මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කර, එහි නව පහසුකම් මගී ජනතාවට භාවිතයට විවෘත කිරීම අද (2026 අප්‍රේල් 26) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම ව්‍යාපෘතිය “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩසටහනේ කොටසක් වේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන අතර ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියර නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 35ක පමණ මුදලක් වැය කර ඇත. එහි මූල්‍ය ප්‍රතිපාදන අක්බා බ්‍රදර්ස් පුද්ගලික සමාගම විසින් ලබා දී ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මාස හයක කාලයක් තුළ නවීකරණ කටයුතු සිදු කර ඇත.
මෙම අදියර යටතේ,
* ආරක්ෂක කැමරා පද්ධති ස්ථාපනය
* නව විදුලි ආලෝක පද්ධති
* නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්
* ගොඩනැගිල්ලේ අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේපනය
* පරිසර අලංකරණ කටයුතු ඇතුළු පහසුකම් වැඩිදියුණු කර ඇත.
එමෙන්ම දශක ගණනාවක් පුරාවට අලුත්වැඩියා නොවූ, වසර සියයකට අධික ඉතිහාසයක් ඇති දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කර තිබේ. දිගුකාලීනව පැවති දිය කාන්දුවට ස්ථිර විසඳුම් ලබා දී ඇති අතර, වර්ග අඩි 2,000කට අධික උඩු මහලේ කොන්ක්‍රීට් වහලය ජල කාන්දු නොවන (Waterproof) ආකාරයට නවීකරණය කර ඇත.
දේශීය හා විදේශීය මගීන්ට දිවයිනේ සියලුම පළාත්වලට ගමනාගමන පහසුකම් සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය, ඉදිරි අදියර කිහිපයක් යටතේ තවදුරටත් නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා නවීකරණයෙන් පසු දුම්රිය ස්ථානයේ පහසුකම් සොයා බැලූ අතර, ඉදිරි කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.