වංචා දූෂණවලට අදාළව දූෂිතයන් වැඩි පිරිසක් මේ වසරේ හිරේට – ජනපති අනුර දැවැන්ත මැයි රැලිය අමතමින් කියයි


ජනපති නුවරඑලිය මැයි රැලියේදී කියයි
මැයි මාසයේ දහයකගේ නඩු විභාග වෙනවා
පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතාව වෙනුවෙන් තීන්දු ගත්තා
ආනාථකරුවන්ගේ දොරකඩට නීතිය ඇවිත් තිබෙනවා

“අපිව බලයට ගෙනාවේ අප සතු ධනය නෙවෙයි. අපගේ පවුල් පසුබිම නෙවෙයි. අපිව බලයට ගෙනාවේ මේ රටේ සුවහසක් දුක්විඳින ජනතාව. එම ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට අපි කොන්දේසි විරහිතව බැඳී සිටිනවා. වංචා දූෂකයන්ව හිර ගෙවල් වලට යැවීම සඳහා ඔබ අපට ජනවරමක් ලබා දුන්නා. අපි ඒක අනිවාර්යෙන්ම ඉටු කරනවා. 2026 එවැනි අය හිර ගෙදරට නියම වන වසරක් බවට පත්වේවි” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 වැනිදා) එම අදහස් පළකළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මැයි දින රැලියක් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවේදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැයි රැලියක් පවත්වන්නේ පළමුවතාවටයි. හැබැයි, අපි පළමු අවස්ථාවට මෙහි මැයි රැලිය පවත්වන විට, මීට පෙර මෙහි මැයි රැලි පැවැත්වූ කිසිවකු මැයි රැලි පවත්වන්නේ නැහැ. මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෙරෙහි කියන පණිවිඩයයි එයින් ලබා දෙන්නේ.

මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ මේ රටේ ජනතාවයි. ලංකාවේ ගොඩනැඟී තිබෙන ශක්තිමත් සහ වැඩිම ජනතා විශ්වාසය දිනා ගන්නා ආණ්ඩුව මේ ආණ්ඩුව බව මතක තබා ගන්න. මේ මලයගම් ජනතාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අපි උතුරට, නැගෙනහිරට, දකුණට ගියොත් එම සියලු ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවයි. ලංකාවේ පළමුවතාවට වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැඟී තිබෙනවා. මේ ආණ්ඩුව පත්ව වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මේ කාලය තුළ අපි ආණ්ඩුව ලෙස තීන්දු තීරණ බොහෝ ප්‍රමාණයක් ගත්තා. බොහෝ වැඩ කටයුතුවලට මුල් පියවර තැබුවා. ඒ සෑම එකකම ප්‍රතිඵලය කුමක්ද? අපේ අරමුණ මොකක්ද? අපේ රටේ වැඩකරන ජනතාවට ඉතාමත් හොඳ ආදායම් මාර්ගයක්, ජීවත් වීමට නිවසක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නීතියක් තිබෙන රටක්, ජාතික සමගිය තිබෙන රටක් ගොඩනැංවීමයි. අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් ගත් තීන්දු. අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කපන තීන්දු.

වෙන ආණ්ඩු ගත්තේ පාලකයන්ට වරප්‍රසාද, වරදාන වැඩි කරගන්න තීන්දු. ජනතාවට පීඩාවක් ගෙන දෙන තීන්දු. හැබැයි, අද සිදු වන්නේ එහි අනිත් පැත්ත. අපි තීන්දු ගන්නවා පාලකයන්ගේ වරප්‍රසාද කපන්න. අපි තීන්දු ගන්නවා වැඩ කරන ජනතාවගේ ජිවිත උසස් කරන්න. එසේ නම් මේ ආණ්ඩුව තමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ලංකාවේ පළමුවතාවට වැඩකරන ජනතාව ප්‍රමුඛ කරගෙන, වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුවක් හදලා තිබෙනවා.

මේ මලයගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ තීන්දුවක් අපි ගත්තා. අපි ඉන්නේ ඒ ජනතාව සමගයි. දිට්වා සුළි කුණාටුව හමුවේ වගා බිම් විනාශ වුණා, ඇති කරපු සත්තු ටික විනාශ වුණා, ගොවි ජනතාව, ධීවර ජනතාව, වැවිලි ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාව විශාල අසීරුතාවට පත්වුණා. අපි ආණ්ඩුවක් ලෙස වගාබිම්වලට ලංකා ඉතිහාසයේ ලබාදුන් වැඩිම වන්දි ලබාදීමට තීරණය කළා. ධීවර ජනතාවගේ බෝට්ටු නැති වුණා, දැල් ආම්පන්න නැති වුණා. අපි බෝට්ටු ගන්න අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කළා. වැවිලි ක්ෂේත්‍රයේ භෝග විනාශ වුණා. ගම්මිරිස් වගාව, තේ වගාව, එනසාල් වගාව ආදී වගා විනාශයට පත් වුණා. අපි වැඩිම සහන දෙන්න තීරණය කළා. ඒ අපි වැඩ කරන ජනතාගේ ආණ්ඩුවක් නිසා.

ඒ වගේම වැඩකරන ජනතාවගේ නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අපි දන්නවා මේ විනාශ වූ නිවාස අනාරක්ෂිත සහ පහසුකම් රහිත නිවාස. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා විනාශ වූ සෑම නිවසකටම රුපියල් ලක්ෂ 50ක දීමනාවක් ලබාදීමට. ඒ අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් නිසා. කුඩා හෝ විනාශයක් වී තිබෙනවා නම් ලක්ෂ 05ක වන්දියක් ලබා දීමට තීරණය කළා. ඒ වගේම පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් 25,000ක් ලබාදීමට කටයුතු කළා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු හැදුවම රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ එහෙමයි.

මැදපෙරදිග යුද්ධය හමුවේ අපිට වැළැක්විය නොහැකි අන්දමින් තෙල් මිල ඉහළ ගියා. වැළැක්විය නොහැකි අන්දමින් බලශක්ති මිල ඉහළ ගියා. හැබැයි, අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් ලෙස අද සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් ලබා දෙනවා. අද ඩීසල් ලීටරයක් 382යි, අපි ඒ 100 ලබා දුන්නේ නැත්නම් 482යි. අපි මේ සහන දෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක් නිසයි. පොහොර මිල ඉහළ ගියා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට පොහොර සඳහා අලුතින් රුපියල් 10,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කළා. ඒ විතරක් නෙවෙයි ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීමට තීරණය කළා. බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙනවා. සෑම ව්‍යසනයකදීම අපි පෙරට එනවා. ජනතාව බලා ගන්නවා. දිට්වා සුළි කුණාටුවට අපි රුපියල් කෝටි 50,000ක් වෙන් කළා.

ලංකාවේ පළමුවතාවට ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ අපි පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ගෝලීය යුද තත්ත්වය හමුවේ පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කෝටි 10,000ක් වෙන් කරනවා කියලා. ඒ නිසා මේ ජනතාවගේ ආණ්ඩුව රකින්නේ කවුද? මේ රටේ ජනතාවයි. ඊට ඔබ සූදානම්ද? ජනතාව ඉන්නේ ආණ්ඩුවත් සමගයි.

හැබැයි, මොකද වෙලා තිබෙන්නේ පොඩි කණ්ඩායමක් ඉන්නවා. 10ක්, 15ක් පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. ටික වේලාවකින් ඒගොල්ලේ ගෙදර යනවා.

අද පවතින්නේ විශාල මහජන වරමක් ලබාගත් යෝධ ආණ්ඩුවක්. ජනතාවගේ විශ්වාසය තිබෙන ආණ්ඩුව. ඔවුන් ජනතාව රැස් කරනවද? නැහැ. එක හිටපු ඇමැති කෙනෙක්ගේ ගෙදර අනෙක් පක්ෂවල අය එකතු වෙනවා. එකතු වෙලා කියනවා ප්‍රබල හිටපු ඇමතිවරයෙකුගේ ගෙදර ආණ්ඩුව එළැවීමට සැලසුමක් කියලා. ඊළඟ දවසේ නැවත එම කණ්ඩායමම තව පක්ෂ කාර්යාලයක ආණ්ඩුව එළැවීමට සැලැසුමක්. මෙහෙම පුළුවන්ද ආණ්ඩු එළවන්න. ඒ අයට අවශ්‍ය රටේ කලබල ඇති කරන්න. අස්ථාවර භාවයක් ඇති කරන්න. ආණ්ඩුවක ස්ථාවරභාවය රඳා පවතින්නේ රටේ ජනතාවගේ විශ්වාසය මතයි.

මේ මැයි දින රැලියට පෙර අපි කල්පනා කළා මෙය පවත්වන්නේ කොහොමද කියලා. අපි ආරම්භක සැලසුම් කළා යාපනය, නුවරඑළිය සහ කොළඹ විතරක් තියමු කියලා. කොළඹ ලොකුම තැන ගාලු මුවදොර පිටිය. අපි 3%ක් ඉන්න කොටත් පිරෙව්වා. දැන් එතනත් මදි. ඇත්තටම තැනක් නැහැ. ඉන්ධන ප්‍රශ්නයක් පැන නැගුණා. සියලු දෙනාට කොළඹ එන්න දුෂ්කරයි. කොළඹ ඉන්න තැනකුත් නැහැ. ඒ නිසා අපි කල්පනා කළා රට පුරා රැස්වීම් 21ක් තියන්න.

ලංකා ඉතිහාසයේ පළමුවතාවට රට පුරා දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශි වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය සහ බැඳීම අද සෑම නගරයකම පෙන්නනවා. මම කියන්නේ ඒකයි, ඔය සුන්බුන් සියල්ල එකතු වී එක තැනකට ඇවිල්ලා මේ ජනගහනයෙන් භාගයක්, කාලක් පෙන්නන්න කියලා. ඒගොල්ලො ඉන්නේ කොතැනද, හතර පස් දෙනෙක්ගේ පොඩි කල්ලියක්, මාධ්‍ය විසින් පුම්බනු ලබන විකෘතියක්. ඇයි ඒ ඔවුන් කලබල වී ඉන්නේ. මේ රටේ ජනතාව කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි, ඔවුන් කලබල විය යුතුයි.

ඔබ දන්නවා ලංකාවේ පළමුවතාවට මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලනවා. ඒ නිසා ඔවුන් කලබලයි. පාතාලේ සබඳතා තොග පිටින් හෙළිවෙනවා. ඒ නිසා ඔවුන් කලබලයි. ඒ ඔවුන්ගෙන් පෝෂණය වූ අය. අපි ඔවුන් අත්අඩංගුවට ගන්නවා. දැනුත් විදේශ රටවල කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලංකාවට ගෙන ඒමට අපි මේ වනවිට පියවර ගෙන තිබෙනවා. අපි පාතාලය මර්දනය කරනවා. ඔවුන් කලබල විය යුතුයි. ඒ විතරක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පර්යේෂණ විශාල ප්‍රමාණයක් දියත් වෙනවා. අල්ලස් කොමිසම ශක්තිමත් කර තිබෙනවා. දැන් එම පරීක්ෂණ සිදු වෙනවා. අපි ඒ ආයතන ශක්තිමත් කර දුන්නා. නීති හදලා දුන්නා. ඒ නිසා ඔවුන් කලබලයි. ඔවුන් පෝලිමේ එනවා. පරීක්ෂණ සිදු වෙනවා. නඩු අහන්න අධිකරණ මදි කිව්වා. අපි අලුත් අධිකරණ දැම්මා. හිටපු ඇමැතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා. එදා කාලා, බීලා සැපට හිටපු ගෙවල්වල අද නඩු අහනවා. හිටපු සෞඛ්‍ය ඇමති අද සාක්ෂි දෙන්න කූඩුවට නගිනවා, කලින් කාපු බීපු ගෙදර. මම ඔබට සහතිකයක් දෙන්නම්. ලංකා ඉතිහාසයේම දුෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට මේ 2026 වසර පත් වෙනවා. මේ මැයි මාසයේම දහ දෙනෙක්ගේ නම් අධිකරණයේ තිබෙනවා. ඒ නඩු තීන්දුව මැයි මාසයේ එනවා. වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයන් සිරගත වෙනවා. නඩු අහමින් තිබෙනවා. කලබල වෙන්නේ නැතිනම් තමයි පුදුම.

මේ සෑම අපරාධකරුවෙක්ම නීතිය හමුවට ගෙන ඒමට ඔබ අපට ජනවරමක් ලබා දුන්නා. අපි ජන වරමට අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුද? පරම්පරාවෙන් අගමැතිවරුද? හිටපු ජනාධිපතිද? හිටපු අගමැතිද? හිටපු ජනාධිපතිගේ බිරිඳද? පුතාද? බෑණාද? මස්සිනාද? ඒවා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා. ඥාතීන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා. සමහර අය රට ගිහින් ඉන්නවා. අපි ඒ අය ගෙනත් අධිකරණය හමුවට පමුණුවන්න කටයුතු කරනවා. මේ රටේ ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසය හැදිය යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටිනවා.

එපමණක් නොවයි අද අපේ රටේ ආර්ථිකය ලංකා ඉතිහාසයේදී වාර්තා කළ හොදම දත්තවලින් වැඩිම වාර්තා තබා තිබෙනවා. අපි දිට්වාවලට කෝටි 50,000ක් වෙන් කළා. ඒ ශතයක් ණයට අරන් නෙවෙයි. මුදල් අච්චු ගහලා නෙවෙයි. භාණ්ඩාගාරයේ ඉතිරි කරලා. රුපියල් කෝටි 10,000ක් මැදපෙරදිග යුද්ධයෙන් අසීරුතාවට පත් වූ ජනතාව වෙනුවෙන් වෙන් කළා. ඒ මුදල් අච්චු ගහලා හෝ ණය අරගෙන නෙවෙයි. ඉතුරු කරපු ජනතාවගේ මුදල්. අපි පාරවල් ටික හදනවා. පාලම් හදනවා. නිවාස අහිමි අයට නිවාස ඉදිකර තිබෙනවා. සාමාන්‍යයෙන් නිවසකට ලබා දුන්නේ ලක්ෂ 16යි. එය අපි ලක්ෂ 25 දක්වා වැඩි කළා. නිවාස අහිමි ජනතාවගේ නිවාස ඉදිකර දීමේ වගකීම අපි භාරගෙන තිබෙනවා. එය අපි ඉටුකළ යුතුයි. එහිදී ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. අපි එය විසඳිය යුතුයි. ඉඩමක අයිතිය, නිවසක හිමිකම අරන් දෙන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

ඒ වගේම, අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අද සිදු කරමින් පවතිනවා. විශේෂයෙන් දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා එම පුරප්පාඩු පිරවීමට සහ දෙමළ මාධ්‍ය විද්‍යා පීඨවලට වැඩියෙන් දුවා දරුවන් බඳවා ගැනීමට. මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අපිට අවශ්‍යයි. මේ දරුවන්ට තිබෙන එකම මාවත අධ්‍යාපනයයි. ආච්චි, සීයා දුක් වින්ඳා, අම්මා, තාත්තා දුක් වින්ඳා. හැබැයි, දරුවන්ට මේ දුක දෙන්න බැහැ. දරුවා මේ ව්‍යසනයෙන් ගොඩගන්න ඕන. ඒ සඳහා හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපන ගැටලු ටික විසඳන්නම්.

මේ කඳුකරයේ මාර්ග කැඩිලා තිබෙනවා. ඇතැම් පාරවල් ප්‍රාදේශීය සභාවට අයිතියි. ඇතැම් ඒවා වත්තට අයිතියි. වත්තෙන් හදන්නෙත් නැහැ. ප්‍රාදේශීය සභාවෙන් හදන්නෙත් නැහැ. හැබැයි, අපි විශාල මුදලක් වෙන් කරලා ඔබේ ගම්බිම්වලට යන පාරවල් ටික හදලා දෙන්න කටයුතු කරනවා. මාර්ග ටික තිබෙන්න ඕන, හොඳ නිවහනක් තිබෙන්න ඕන, ආදායම් මාර්ගයක් තිබෙන්නේ ඕන, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තිබෙන්න ඕන, ගෞරවයක් තිබෙන්න ඕන.

ආණ්ඩුව හදලා අවුරුදු එකහමාරයි. කොච්චර කාලයක් මේ ආණ්ඩුව තියෙයිද? දශක ගණනාවකට මේක හොලවන්න බැහැ. අපි පියවරෙන් පියවර සැලසුම් සහගතව මේ රට හදනවා. මේ අපි ඉදිරිපිට ඉන්න ජනතාවගේ ජීවිත උසස් තත්ත්වයට පත් කරනවා. අනාගතය පිළිබඳව විශ්වාසයක් නැතිව අපේක්ෂා භංගත්වයට පත්ව සිටි ජනතාවට මීට වඩා උසස් ජීවිතයක් ලබා දිය යුතුයි. ඒ ජීවිතය ලබා දෙන ආණ්ඩුව තමයි ජනතාව එකතු වෙලා මේ හදලා තිබෙන්නේ.

මේ ආණ්ඩුව හැදුවේ මේ රටේ ජනතාව. අපිව හැදුවේ අපේ පවුල් පරම්පරාව නෙවෙයි. මාව ජනධිපති කළේ මගේ ධනයෙන් නෙවෙයි. ඒ නිසා අපි නඩත්තු කරන්නේ මේ රටේ ජනතාව මිසක් අපේ පවුල් නෙවෙයි. ඒ නිසා අපි කවුද? මේක ජනතාවයි ආණ්ඩුවයි එකට බැඳුණ එකට ගොඩනැගෙන පාලනයක්. ලංකාවේ පළමුවතාවට තමයි ජනතාවයි ආණ්ඩුවයි එකට බැඳුණ පාලනයක් බිහිවන්නේ. මීට කලින් තිබුණේ කොහොමද? ආණ්ඩුව එක පැත්තක. ජනතාව තව පැත්තක. ජනතාව පාරට බහිනවා, ආණ්ඩුව පොලු අරන් එනවා. ජනතාව උද්ඝෝෂණය කරනවා, ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා. ජනතාව අයිතිවාසිකම් ඉල්ලනවා, ආණ්ඩුව බය කරනවා.

එහෙත් පළමුවතාවට ඒක වෙනස් වෙලා. මොකක්ද අපි අතර තිබෙන වෙනස? අපි සමානයි. දැන් තිබෙන්නේ එකට ඉඳන් අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ කියලා කතා කරන්න පුළුවන් ආණ්ඩුවක්. අපි එකතු වෙමු. අපි ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට වැඩ කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරනවා.

සිරිමන්ත රත්නසේකර සහ නුවරඑළිය – නාලක රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *