රෝහලට ඇතුළත් කරන සෑම රෝගියෙකුටම ඇඳක් සහ සුදුසු පහසුකම් සහිත ගුණාත්මක සෞඛ්‍ය සත්කාරයක් ලබා දෙන බවට සහතික කිරීමට රජය කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමට හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ඉතා වැදගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නොමඳ සහාය ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මඟින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇති අතර, එම පද්ධතීන් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු යැයි ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සත්කාර සේවා රාමුවට අනුව හදිසි සත්කාර යනු විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා වූ මානව අයිතියේ මූලික කරුණක් ලෙස පෙන්වා දී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCEP) 2024 – 2025 වසර සඳහා නව සභාපතිවරයා පත්කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා (21) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2024 -2025 වසර සඳහා නව සභාපතිවරයා ලෙස හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉණුක විජේගුණවර්ධන මහතා මෙහිදී තෝරා පත් කර ගැනිණි.
නව සභාපතිවරයාට සුබ පැතුම් එක් කළ ඇමැතිවරයා පැවසුවේ නව සභාපතිවරයා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර සේවාවන්ට අදාළ කටයුතු ප්‍රගමනයට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවය.
සංවර්ධිත රටවල් වසර 50කට පෙර හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තීරණාත්මක විශේෂත්වයක් ලෙස පිළිගෙන ඇති බවත්, 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක අවශ්‍යතාවය දැනෙන්නට වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.
2016 හදිසි අනතුරු සහ හදිසි සත්කාර සඳහා වූ ප්‍රතිපත්තිය මඟින් වසර තුනක් ඇතුළත සෞඛ්‍ය සේවා ආයතනවලින් සියයට 75ක ක්‍රියාකාරී හදිසි ඒකක පිහිටුවීමට අරමුණු කර ඇති බවත්, අවාසනාවකට මෙන්, විවිධ හේතූන් මත කිසිදු අනතුරු සහ හදිසි සත්කාර ඒකකයක් ඊට අදාළ මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල වී නොමැති බවත් ඇමැතිවරයා කීය. කොවිඩ් -19 වසංගතය ආපදාවලදී සූදානම සහ ඔරොත්තු දීමේ තීරණාත්මක අවශ්‍යතාව පෙන්නුම් කළ බව ද, එම අවස්ථාවල මෙම ක්ෂේත්‍රයට අදාළ වෛද්‍යවරු පෙරමුණ ගෙන කටයුතු කළ බව ද ඇමැතිවරයා කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරවල ආරම්භ කළ ව්‍යාපෘති නිසි ලෙස ඇගැයීමට ලක් කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමට කැපවී කටයුතු කරන බවත් එහිදී ඩිජිටල්කරණය, ගිලන් රථ සේවා පුළුල් කිරීම, සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සහ පුහුණු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමේ උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපති වෛද්‍ය නන්දන කේ. ජයතිලක, ලේකම් නන්දරාජ් ප්‍රසන්න යනාදී මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.