තමන්ව සිරගත කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සටන නැවැත්වීමට කිසිවිටක හැකියාවක් නොමැති බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් මාලාවේ අනුරාධපුර, නාච්චාදූව නගරයේ පෙරේදා (09) පස්වරුවේ පැවැති ජනහමුවට එක් වෙමිනි.
ගොවි ජනතාවගේ ගැටලුව වෙනුවට ජනාධිපතිවරයා ඇතුළු රජයට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වැඩි කිරීම බවත් මෑත ඉතිහාසයේ ගොවි ජනතාව බඩගින්නේ සිටින එකම කාලය වත්මන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව සමය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නිෂ්පාදන පිරිවැය සැලකිල්ලට ගෙන සාධාරණ මිලක් ගොවියාට ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. වී අස්වනු නෙළන සමය වන විට සහල් ආනයනය කරමින් තමන්ගේ හිතවතුන්ට මුදල් ඉපයීමට කටයුතු කිරීම වත්මන් රජයේ අරමුණයි. මේ වනතෙක් විනාශයට පත් වැව් අමුණු පිළිසකර කිරීමට රජය කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.
වත්මන් රජයේ වංචා, දූෂණ සම්බන්ධයෙන් විපක්ෂය විවේචනය කරන විට ආණ්ඩුව කලබල වී තිබෙනවා. අසත්‍ය ප්‍රකාශ මත බලපෑම් සිදුකර අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ ද මෙරට අධිකරණ පද්ධතිය විනාශ කිරීමට විනිශ්චයකාරවරුන් කිසිවිටක ඉඩ නොතබන බවත් තමන්ව සිරගත කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සටන නැවැත්වීමට කිසිවිටක වත්මන් නායකයන්ට හැකියාවක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.