අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ ද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එදා තම පවුලට එරෙහිව ක්‍රියාත්මක කළ විමර්ශන දෙස බලනවිට සිනහ යන බව පවසන ඒ මහතා එදා එවැනි ක්‍රියාමාර්ග ගත් නායකයෝ ද අද රට පාලනය කරන්නේ කියා සිතෙන බවද ප්‍රකාශ කරයි.
2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ නාවුල නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,
අපේ රටේ දේශපාලනඥයෝ බොහෝ වෙලාවට සංවර්ධනේ දැක්කේ වැරදි ඇසකින්. එක පැත්තකින් ඒ අයට දැක්මක් තිබ්බේ නෑ රට හදන්න. ඒ අය කවදාවත් සිතුවේ නෑ මේ රටේ මාර්ග පද්ධතිය කාර්පට් වෙලා ගම සහ නගරය යා කරයි කියලා. ඒ අය බොහෝ වෙලාවට බැලුවේ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු ගොන්නක් දීලා ඒ පොරොන්දු අලුත් කරගෙන ඊළඟ මැතිවරණයට යන්නයි. ඒ නිසාම තමයි අපි අවුරුදු තිහක් දැක්කේ මැතිවරණ වේදිකාවේ දූෂණය, භීෂණය, යුද්ධය ආදිය පෙරළා පෙරළා කියන්න ගත්තා.
දැන් යුද්ධය කියන කාරණය අවසන්. ඒ නිසා දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ගියාම පොලිසියට වෙනත් වැඩක් කරන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරු වෙන්නෙත් හොරු අල්ලන්න. යහපාලන ආණ්ඩුවෙත් එහෙමම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා. අපිට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුලෙත් උසාවි ගිහිල්ලා ආවෙ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස් වුණා විතරක් නෙවෙයි වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ල රාජපක්ෂවරුන්ගේ ගිණුම් පිළිබඳව සොයා බැලුවා.
අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා එම නඩුවලින් නිදහස් වුණා. නමුත් ඒ සෑම පරීක්ෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල්. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ආණ්ඩුවට ලැබෙන බදු මුදල්. සමහරවිට ගත්ත ණය වෙන්නත් පුළුවන්. මේවා තනිකරම දේශපාලන වේදිකාවේ ඇමති සටන් පාඨ. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල් වලට ඇවිල්ල ලැට් වලවලුත් හාරලා බැලුවා. දැන් බැලුවම අපිටම හිනා යනවා. මෙහෙම නායකයෝ ද රට පාලනය කරන්නේ කියලා. අපේ අම්මට පෙර පාසලක් තිබෙනවා. ඒකෙ තිබෙනවා මුහුදෙ දාපු හෙලිකොප්ටරයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් ආවා හෙලිකොප්ටරයක් තියෙනවා කියලා. එවැනි පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නේ. අපිට වෛරය නෑ. අපිට ඊර්ෂයාව නෑ. අපිට පළිගන්න වුවමනාවක් නෑ. නමුත් අපිට වැඩ කරන්න ඕන. අපිට රට හදන්න ඕන. අපි හැමදාම විශ්වාස කළ අපේ සංස්කෘතිය, අපේකම, දේශීයත්වය, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන. අපි මැතිවරණ වේදිකාවට එන්නේ ප්‍රතිපත්තියක් එක්ක. පෞද්ගලික කාරණා මත නොවෙයි. පෞද්ගලිකත්වය මට දේශපාලනය කරනවා නම් 1994 සිට කැබිනට් එකේ හිටිය හැම ඇමති කෙනෙක්ම වගේ වැඩ කරන්න තිබුණා.
ආණ්ඩුවකම හැම ජනාධිපතිවරයෙක් යටතේම හිටපු ඇමැතිවරු ඉන්නවා. ඒ වගේ අපටත් තිබුණ දේශපාලනික වශයෙන් මාරුවෙන්න. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා. මහින්ද රාජපක්ෂ මහතා එදා මොන්ටි ගොපල්ලෝ මැතිතුමාලා එක්ක ගොඩනඟපු දේශපාලන බලවේගය අපි දන්නවා. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්න ඕන. අපි පැහැදිලිව රට හදන පැත්තේ සිට ගනුදෙනු කරනවා. අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ දේශීය ව්‍යාපාර රකින්න ඕන. මාතලේ දිස්ත්‍රික්කයට එනකොට කුඩා කර්මාන්ත, සඳහා හොඳ මිලක් දෙන්න, ව්‍යාපාරිකයන්ට සහන දෙන්න අපි කටයුතු කරනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම බෝගයක්ම නිෂ්පාදනය කරනවා. දේශීය ව්‍යාපාරිකයා කම්කරුවා, ව්‍යාවසායකයා ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුවක් තුළ කටයුතු කරනවා. අපි ඒක කරනවා. ඒ අය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. මේ රට ඩිජිටල් කරනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය පෝලිම්වල නොසිට ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
සැබෑ පෝලිම ඉවත් කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කරනවා. තාක්ෂණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට තාක්ෂණයේ හඳුන්වාදී විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් සමග. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි. තොරතුරු තාක්ෂණ අංශය වෙන්න පුලුවන්. ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුලුවන්, සේවා අංශය වෙන්න පුලුවන්, විදේශ රැකියා අංශය වෙන්න පුළුවන් රැකියා ලක්ෂ විස්සක් ඊළඟ වර්ෂය දහය තුළ ඔබේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාර ගන්නවා. මම දන්නවා මේ රටේ තරුණයන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන විදිය මම දන්නවා. ඒකීය බව ආරක්ෂා කරන මේ රට තුළ සියලු සංස්කෘතීන් ආරක්ෂා කරමින් මාතෘ භූමියේ ඒකීයත්වය රකිමින් අපේ දරුවා වෙනුවෙන් රාජ්‍ය සම්පත් සංවර්ධනය කොට අලුතින් රැකියා උත්පාදනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් දියුණු රටක් ඔබ වෙනුවෙන් ගොඩනගන අභියෝගය අපි භාරගන්නවා.