කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වසරේ පළමු මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබේ.
මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි වාර්තාගත මූල්‍ය ප්‍රතිඵලයක් අත්කර ගැනීම මණ්ඩලයේ ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඒ අතරම සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණද පෙරදැරි කරගනිමින් මණ්ඩලය සිය කටයුතු ඉදිරියට ගෙන යමින් සිටී.
නිවැරදි කළමනාකරණය, ඵලදායී නායකත්වය සහ නිලධාරීන් හා සේවකයන්ගේ කැපවීම හේතුවෙන් ආයතනයේ ලාභදායීත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.
මෙම මූල්‍ය වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු අතර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තෘණ හා බඩඉරිඟු වගාවන් පුළුල් කිරීම, ඌණ උපයෝජිත සම්පත් උපරිමයෙන් භාවිත කර අමතර ආදායම් මාර්ග හඳුනා ගැනීම සහ නිෂ්පාදන සඳහා අගය එකතු කර නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම ඇතුළත් වේ.
එමෙන්ම කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන නව ව්‍යාපෘති සැලසුම් කර සාර්ථකව ක්‍රියාත්මක කිරීමද මණ්ඩලයේ ආදායම් වර්ධනයට දායක වී තිබේ.
වාර්තාගත ශුද්ධ ලාභය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ මණ්ඩලය යටතේ පවතින අභිජනන කුකුළු ගොවිපොළවල් මඟිනි. විශේෂයෙන් කරඳගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත බොයිලර් කුකුළු අභිජනන ගොවිපොළවල දායකත්වය කැපී පෙනෙන බව සඳහන් වේ.
මේ අතර පසුගිය කාලසීමාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිය අවස්ථාවලදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණ බලපෑම් අවම කරමින් මිල ස්ථාවරව පවත්වා ගැනීමටද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මැදිහත් වී තිබේ.
නිවැරදි කළමනාකරණ ක්‍රමවේද සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය ආයතනයකටද සාර්ථක ලෙස ලාභදායී ආයතනයක් බවට පත්විය හැකි බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලබා ඇති මෙම මූල්‍ය ප්‍රතිඵලය මඟින් පෙන්වා දෙයි.