ශ්‍රී ලංකාවේ හානියට පත් පාලම් කිහිපයක් නැවත ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය සහ එම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීමට නෙදර්ලන්තයේ කැමැත්ත තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe Jakob De Boer මහතා ඊයේ (02) වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අවසථාවේදීයි.
දශක ගණනාවක් පුරා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සහ ද්විපාර්ශික සහයෝගීතාවය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගොඩනැගී ඇති දිගුකාලීන මිත්‍රත්වය කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය සිය කැපවීම අවධාරණය කළා.
ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දෙමින් සිටින ස්වාභාවික ව්‍යවසනය වැනි අභියෝගාත්මක කාලවලදී සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, ආපදා අවදානම අවම කිරීම, යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ ඉදිරි මාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.
ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවය, වැඩිදියුණු කළ දිගුකාලීන සැලසුම්කරණයක් ගොඩ නැඟීම සහ ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සහාය ලබා දීමේ අවශ්‍යතාව ද ඔවුන් මෙහිදී අවධාරණය කළා.
ගංවතුර කළමනාකරණය වැඩි දියුණු කිරීම, ඉලක්කගත ආයෝජන සහ සියල්ල ඇතුළත් සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීම මඟින් ස්ථාවර හා තිරසාර ප්‍රගතියකට මඟ පාදන බව දෙපාර්ශ්වයම පිළිගත්තා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා; අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ තිවංක අතුරලිය මහත්මිය සහභාගී වී සිටියා.