පළාත් සභා ඡන්දයට විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න තීරණය කරයි

පළාත් සභා මැතිවරණයේදී පොදු එකඟතාවන් ඇතිව පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයේ විපක්ෂයේ පක්ෂ කිහිපයක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස් මහතාගේ නිවසේදී පැවති හමුවේදී තීරණය කර ඇත.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා රජයට බලකිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන්ද මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂයේ පුළුල් සන්ධානයක් ඇති කර ගැනීමට ද තීරණය වී තිබේ. පළාත් සභා මහ ඇමැති ධුර සඳහා පොදු අපේක්ෂකයන් යෙදවීමට ද අවධානය යොමු වූ බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම හමුව පෙරේදා (03දා) සවස 6.00ට විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ජී.එල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී පවත්වා ඇත.

එහිදී විපක්ෂයේ පොදු එකඟතාවන් ඇති කර ගැනීම, ඉදිරි පළාත් සභා මැතිවරණය සහ ලබන 21 දා පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *