යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යාපනය අධි ආරක්‍ෂක කලාපයේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කරන හබයාස්කෝපුස් පරීක්‍ෂණය සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර ලංකාවේ පිහිටි වෙනත් ඕනෑම මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ දී සාක්‍ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (22දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
2011.12.10 වැනිදා සිදුවූ එම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස්කෝපුස් පැමිණිල්ලට අදාළව සාක්‍ෂි දීම සඳහා 2019.09.27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නොතිසි යැවීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබිණි. එම සමයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටි බැවින් ආරක්‍ෂක හේතූන් මත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ එකී නොතිසි නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නොතිසි නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.
අභියාචනාධිකරණයේ එකී නියෝගය අභියෝගයට ලක්කරමින් ලලිත්-කූගන්ගේ දෙමාපිය ඥාතීන් ගොනුකර තිබූ අභියාචනාව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. එම පෙත්සම ලබන මාර්තු 18 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.