ඇප පනතේ කොතැනකවත් සඳහන් කර නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා – නාමල්ගේ නීතීඥයා අධිකරණයට කියයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියට අදාළව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත්තේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදුකළා.

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනී… පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාළ වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කර නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා. ඇප දීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. 

කෙසේ වෙතත් මගේ සේවාදායකයා දේශපාලකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ වගේම ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ අවස්ථාවේදී ඔහුට අදාළ වෙනවා. නිමල් පෙරේරා නැමැත්තාගේ ගිණුමකට මුදල් ලැබී තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි එම මුදල මෙම සැකකරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක,” යනුවෙන් සඳහන් කරමින් මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *