නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අබිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
පෙරේදා (26) පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයේ පල්ලිය පාරේ පදිංචි 71 හැවිරිදි මොහොමඩ් ඉමිතියාස් පසාල් ෂෙරබ් යන අය වැසිකිළියට ගිය අවස්ථාවේ එම පුද්ගලයා වැසිකිළිය තුළදීම මියගොස් ඇති බවත්, බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අජිත් නිශ්ශංක ඊයේ (27) උදෑසන 8.00ට එම වැසිකිළියට ගිය අවස්ථාවේ මියගොස් ඇති බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ ය.
අබිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතාගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ, එම වැසිකිලියේ පුරුෂ පාර්ශවය සඳහා වෙන් කර තිබූ වැසිකිළි පද්ධතිය මුද්‍රා තැබූ බවත්, කාන්තා පාර්ශවය සඳහා වෙන් කර ඇති කොටස විවෘතව පවතින බවයි.
වැසිකිළිය තුළදී මියගිය දෙදෙනාම රෝගීන් බවට දැනට හඳුනාගෙන ඇති බවත්, පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව ලැබෙන තෙක් වැසිකිළි පද්ධතියේ පුරුෂ පාර්ශව අංශය වසා දමන බවයි.
එම වැසිකිළිය තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ඒ පිළිබඳව විමර්ශන කටයුතුවල අවධානය යොමු වී ඇති බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ.