ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 08 ඇතුළත රුපියල් කෝටි 2,213ක ලාභයක් ලැබූ බවත්, එයින් 47% ත් 50%ත් අතර ප්‍රතිශතයක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් ලැබූ ලාභයක් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.ද.එස්. රාජකරුණා මහතා පැවසීය.
ලැබූ ලාභයෙන් කෝටි 500ක් පසුගියදා ආණ්ඩුවට ලබාදුන් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඊයේ (25) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.ද.එස්. රාජකරුණා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
“අපේ ආනයන වියදමෙන් 28%ක් අපට වැය වෙන්නේ පෙට්‍රෝලියම් සඳහා. තෙල් සංස්ථාව ගත්තාම ඒක ප්රමුඛ කාර්යයක් කරන එකක් හැටියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රතිපත්ති මාලාවේ අවසානයට අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරන්න තමයි. ඒ සඳහා අවශ්‍ය විභවය ඕනෑවටත් වැඩිය ලංකාවේ තිබෙනවා.
පෙට්‍රෝලියම්වලින් විතරක් නෙමෙයි, අපේ ලංකාව පිහිට වූ තැන අනුව ඊට අමතරව අපේ සුළං සහ සූර්ය ශක්තිය මඟින් අපිට විශාල විභවයක් තියෙනවා කියන එක සොයාගෙන තිබෙනවා. ඒකෙන් කොහොම ද අපේ රට පොහොසත් රටක් දක්වා ගෙනියන්නේ කියන එක ප්‍රතිපත්ති මාලාවේ තිබෙනවා.
අපේ පිරිස්බල සැකැස්ම වසර 13කට පස්සේ තමයි හදන්නේ. 2016දී පිරිස්බල සැකැස්ම හදලා තිබුණේ. ඒකෙදී මේ ආයතනයේ වැඩ කටයුතු මෙනවා ද? කියලා අපි අධ්‍යයනය කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය පුද්ගලයන්ගේ හැකියාවන් සුදුසුකම් මොනවා ද? කියලා ඒකට අනුව තමයි මේ පාර පිරිස්බල සැකැස්ම හදලා තිබෙන්නේ. ඒකත් අපි අවසන් කර තිබෙනවා. ඒක හදනකොට විශාල සංඛ්‍යාවක් අඩු කරන්න තිබෙනවා.
මිට ඉස්සෙල්ලා දේශපාලන අවශ්‍යතා මත එක එක පිරිස්බල සැකැස්මවල් හදලා ඒකට අනුව හදාගෙන ගියපු එකක් තිබුණා. ලංකා තොග ගබඩා පර්යන්තයේ අපිට අඩු කරන්න වෙලා තිබෙනවා සේවකයන් එක්දහස් හයසීයකින් විතර. ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සේවකයන් එක්දහස් දෙසීයකින් විතර අඩු කරන්න වෙලා තිබෙනවා. සමහර ආයතනවල අංශ අපට වහලා දාන්න සිද්ධ වුණා.
බෙදුම්කරුවන් සඳහා අපි හඳුන්වා දුන්නා ඇප් එකක්. ඒ ඇප් එකට අනුව යාපනය ඉඳලා වුණත් ඩීලර් ඕඩරය දාපුවාම කෙටි කාලයත් තුළ අපේ සෙට් එකට එනවා. මේ නිසා ඉතාම කාර්යක්ෂම වෙලා තිබෙනවා.
බවුසර්වල පිරවුම් ද අපි ඔටෝ මේට් කරන්න යනවා. එහි කාර්යය ද දැන් සියයට පනහකින් විතර අවසන් වී තිබෙනවා.
තෙල් ඇණවුම් කිරීමේ ටෙන්ඩර් පටිපාටිය ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී අවසාන විනාඩි තිහේ මිල ඕනෑම ටෙන්ඩරේට එන කෙනෙකුට බලාගන්න පුළුවන්. හැබැයි කවුද කියන එක බලාගන්න බැහැ. ඒ අනුව අපි අවස්ථාව දෙනවා ටෙන්ඩර් මිල වෙනස් කරගන්න. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ලොකු තරගකාරීත්වයක්. ඒ හරහා ලොකු ගාණක් අපිට ඉතිරි කර ගන්න පුළුවන්.
අපි රාජ්‍ය ආයතනවලට හඳුන්වා දුන්නා ෆුවෙල් කාඩ් එකක්. ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල වාහනවලට ඒ කාඩ් එකෙන් තෙල් ගහපුවාම නැවත මොනවත් අවශ්‍ය වන්නේ නැහැ. ගහපු තැන ආදී සියලුම දේවල් ඒ මොහොතේම අප්ඩේට් වෙනවා. එතකොට වසර අන්තිමේ තෙල් කොපමණ ප්‍රමාණයක් ගහල තියෙනවා ද, කොතැනින් ද ආදී සියලු තොරතුරු එයින් බලා ගන්න පුළුවන්. එය දැන් අවසන් වීගෙන යන්නේ ලංකා බැංකුව හරහා තමයි එය කරගෙන යන්නේ. එය සියලුම රාජ්‍ය ආයතනවලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.
කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යාමට, නළ මාර්ගයක් ඉදි කිරීමට ටෙන්ඩර් කටයුතු යොදා තිබෙනවා. මේ මාස අටට රුපියල් මිලියන හාරදහස් එකසිය හතක ලාභයක් ගුවන් යානා ඉන්ධනවලින් ලැබිලා තිබෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව ලීටර් මිලියන තිස් දෙකයි දශම හයක වැඩිවීමක් අපිට ලැබිලා තිබෙනවා. තෙල් ගහන්න විතරක් පැමිණි ගුවන් යානා ප්‍රමාණය, ගැසූ ඉන්ධන ප්‍රමාණය ලීටර් මිලියන දෙකයි දශම හතකින් වැඩිවෙලා තිබෙනවා මේ වසර ඇතුළත. ගුවන් යානාවලට ඉන්ධන සැපයීමට අලුත් ගිවිසුම් දාහතරක් මේ අවුරුද්ද ඇතුළත අත්සන් කරලා තිබෙනවා.
ලිහිසි තෙල්වලින් අපිට රුපියල් මිලියන දෙසිය නවයක ලාභයක් අපි ලබා තිබෙනවා. මේ වසරේ මුල් මාස අට තුළ රුපියල් මිලියන විසි දෙදහස් එකසිය තිහක ලාභයක් ලැබුවා. එයින් කෝටි පන්සීයක් අපි ආණ්ඩුවට ලබා දුන්නා. අපි තෙල් මිල වැඩි කරලා නෙවෙයි මේ ලාභය හොයලා තියෙන්නේ. අපේ මූල්‍ය පාලනය හරහා ඩොලර් මිලියන සියයක පමණ සංචිතයක් අපි පවත්වාගෙන යනවා නැව් කටයුතු සඳහා. අපි මේ සිකුරාදා ඉඳලා අෙමරිකන් කෘඩ් ඔයිල් එක හඳුන්වා දෙන්න යනවා. අපි ඒ තුළින් බලාපොරොත්තු වනවා අපට යම් ප්‍රතිශතයකින් ලාභයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා.”
මේ අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ඇතුළු උසස් නිලධාරීහු ද එක්ව සිටියහ.