මූලාශ්‍රය – නිව්ස්19 වෙබ් අඩවිය : මන්නාරම් ද්‍රෝණියේ නව අක්වෙරළ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර ලබාදීමේ වැඩසටහන සාර්ථක වුවහොත්, ඉදිරි වසර තුනත් පහත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ පළමු වාණිජ තෙල් හා ස්වාභාවික ගෑස් නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.
මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 33,964කට ආසන්න මුහුදු ප්‍රදේශයක් ආවරණය වන පරිදි අක්වෙරළ ගවේෂණ කුට්ටි හතරක් ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකා බලපත්‍ර ලබාදීමේ වටය 2026 (SL2026-01) රජය විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
ආචාර්ය නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන පෙර පැවති ගවේෂණ වැඩසටහන්වලට වඩා වෙනස් ආකාරයකින් සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව තෝරාගනු ලබන ආයෝජකයන් ගවේෂණ කටයුතුවලින් පමණක් නොනැවතී, සම්පත් වාණිජමය වශයෙන් ශක්‍ය බව තහවුරු වුවහොත් සංවර්ධනය හා නිෂ්පාදනය දක්වා ඉදිරියට යාමට අවස්ථාව හිමි වනවා.
ගවේෂණ කැණීම්, සොයාගැනීම් ඇගයීම සහ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පළමු වාණිජ නිෂ්පාදනය ආරම්භ කිරීමට වසර තුනත් පහත් අතර කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ගවේෂණවලදී ලැබෙන ප්‍රතිඵල අනුව එම කාලය මීට වඩා කෙටි විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
මෙම ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ගවේෂණය, සංවර්ධනය සහ නිෂ්පාදනය යන අදියර ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වාණිජ වශයෙන් ශක්‍ය ඛනිජ තෙල් සම්පත් තහවුරු කරගන්නා ආයෝජකයන්ට නිෂ්පාදන අදියර වෙත යාමට අවස්ථාව ලබාදීමට නියමිත බවත් ඔහු කියා සිටියා.
නව බලපත්‍ර ලබාදීමේ වටය හරහා රටට ලැබිය හැකි සමස්ත ආයෝජන ප්‍රමාණය මේ වනවිට නිශ්චිතව ගණනය කළ නොහැකි බවද ආචාර්ය නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළා.
ඊට හේතුව වන්නේ, එක් එක් ආයෝජකයා ඉදිරිපත් කරන ගවේෂණ හා සංවර්ධන වැඩසටහන් අනුව ආයෝජන ප්‍රමාණය වෙනස් වීමයි.
එමෙන්ම ගවේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වන මූල්‍ය වගකීම රජය විසින් නොව තෝරාගනු ලබන පෞද්ගලික අංශයේ ආයෝජකයන් විසින් දැරීමට නියමිත බවත්, අත්සන් කිරීමේ ප්‍රසාද දීමනා සහ මූල්‍ය ඇපකර ඇතුළු රජයට ලබාදෙන ප්රතිලාභ ද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් වන ලංසු ඇගයීමට ලක් කරන බවත් ඔහමු සඳහන් කළා.
බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන බලශක්ති සමාගම් ඇතුළු ආයෝජකයන්ගෙන් විමසීම් රැසක් ලැබී ඇති බවද කළමනාකාර අධ්යක්ෂවරයා පැවසුවා.
මහා පරිමාණ අක්වෙරළ ඛනිජ තෙල් ගවේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හැකියාව සහ මූල්‍ය ශක්තිය ලොව පුරා පවතින්නේ සීමිත සමාගම් සංඛ්‍යාවකට පමණක් බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, විනිවිදභාවය සහ තරගකාරී තේරීම් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා උනන්දුවක් දක්වන සියලුම ආයෝජකයන් නිල බලපත්‍ර ක්‍රියාවලිය හරහා යොමු කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසුවා.
ගෝලීය වශයෙන් ස්වාභාවික ගෑස් සඳහා ඉල්ලුම ඉහළ යමින් පැවතීම ශ්‍රී ලංකාවේ අක්වෙරළ සම්පත් වෙත ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හිතකර සාධකයක් විය හැකි බව නෙත්තිකුමාරගේ මහතා පෙන්වා දුන්නා.
පෙර ගවේෂණ වැඩසටහන් බොරතෙල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණද, මන්නාරම් ද්‍රෝණියේ සැලකිය යුතු ස්වාභාවික ගෑස් සම්පත් පැවතිය හැකි බවට සාක්ෂි ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.
මන්නාරම් ද්‍රෝණියේ සිදුකර ඇති පෙර ගවේෂණවලදී ගෑස් සහ කන්ඩෙන්සේට් සොයාගැනීම් සිදුව තිබීම එම ප්‍රදේශයේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් පවතින බවට සාක්ෂියක් බවද බලධාරීන් පෙන්වා දෙනවා.
නව බලපත්‍ර වැඩසටහන සඳහා දශක ගණනාවක් පුරා සිදුකරන ලද ගවේෂණ හා කැණීම්වලින් ලබාගත් භූ විද්‍යාත්මක සහ භූ භෞතික දත්ත ද භාවිත කිරීමට නියමිතයි.
එම දත්ත නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ නැවත විශ්ලේෂණය කර ඇති අතර, එමගින් අනාගත ආයෝජකයන් සඳහා වඩාත් පුළුල් දත්ත පද්ධතියක් සකස් කර ඇති බවද සඳහන් වනවා.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) හරහා නව බලපත්‍ර වටය යටතේ මන්නාරම් ද්‍රෝණියේ අක්වෙරළ ගවේෂණ කුට්ටි හතරක් ලබාදී තිබෙනවා.
එම කුට්ටි හතර වන්නේ, වර්ග කිලෝමීටර 5,948.95 ක් ආවරණය වන 2026-MB-01; වර්ග කිලෝමීටර 5,689.05 ක් ආවරණය වන 2026-MB-02; වර්ග කිලෝමීටර 10,597.67 ක් ආවරණය වන 2026-MB-03; සහ වර්ග කිලෝමීටර 11,728.30 ක් ආවරණය වන 2026-MB-04.
මෙම කුට්ටි හතරේ සමස්ත වපසරිය වර්ග කිලෝමීටර් 33,964ක් පමණ වන අතර, ඒවා මීටර් 100 සිට මීටර් 3,000 දක්වා විවිධ මුහුදු ගැඹුරු ප්‍රදේශවලට විහිදී පවතිනවා.
ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ඛනිජ තෙල් ආයෝජන සඳහා මන්නාරම් ද්‍රෝණිය ප්‍රධාන ප්‍රදේශයක් ලෙස PDASL හඳුන්වා දී තිබෙනවා.
පෙර ගවේෂණවලින් සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් තහවුරු වී තිබුණද, ද්‍රෝණියේ විශාල ප්‍රදේශ තවමත් සීමිත මට්ටමින් පමණක් ගවේෂණය කර ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙනවා.
2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ හඳුන්වා දුන් නව නියාමන රාමුවට අනුව මෙම බලපත්‍ර වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එම පනත යටතේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය රටේ ඉහළ පෙළේ ඛනිජ තෙල් කටයුතු නියාමනය කිරීම සඳහා ස්ථාපිත කර තිබෙනවා.
බලපත්‍ර වටය නිවේදනය කරමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කුට්ටි හතර විවෘත කිරීම ශ්‍රී ලංකාවේ දේශීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීමේ වැදගත් පියවරක් බවයි.
මේ අතර, PDASL අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා සඳහන් කළේ, පෙර ගවේෂණ මගින් මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් පවතින බව තහවුරු කර ඇති බැවින්, නවීන තාක්ෂණය සහ පවතින දත්ත භාවිත කරමින් ද්‍රෝණිය නැවත ඇගයීම ජාත්‍යන්තර ගවේෂකයන්ට වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.
බලපත්‍ර වටය නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ ලංසු ලේඛන නිකුත් කර ඇති අතර, අදාළ තාක්ෂණික දත්ත ඇතුළත් දත්ත කාමරය සැප්තැම්බර් 1 වැනිදා සිට අනාගත ආයෝජකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි.
භූ විද්‍යාත්මක හා භූ භෞතික දත්ත, ගවේෂණ කුට්ටි පිළිබඳ තොරතුරු, තාක්ෂණික ලේඛන, බලපත්‍ර හා සහභාගීත්ව අවශ්‍යතා ඇතුළු තොරතුරු එමගින් ලබාගත හැකියි.
ජාත්‍යන්තර ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා සැප්තැම්බර් 29 සහ 30 යන දිනවල ලන්ඩනයේදී ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඔක්තෝබර් 21 වැනිදා අතථ්‍ය ආයෝජක දැනුවත් කිරීමේ හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම නොවැම්බර් 16 සහ 17 යන දිනවල ක්වාලාලම්පූර්හි පැවැත්වෙන ආසියානු ඛනිජ තෙල් භූ විද්‍යා සමුළුව හා ප්‍රදර්ශනයට සමගාමීවද ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි.