පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නඟාසිටුවීමට අවධානය යොමු කෙරේ.
ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පොල් සහ ආහාරපාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර පසුගියදා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඒ අනුව පොල් ආශ්රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 02ක් ලෙසත්, ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 01ක් ලෙසත් ගොඩනැංවීමට අපේක්ෂා කෙරෙන අතර ඊට අදාළ සැලසුම් පිළිබඳ එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එම කර්මාන්ත නඟාසිටුවීම සඳහා වූ යෝජනා සහ අදහස්ද එහිදී ඉදිරිපත් කෙරුණු අතර එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරිගැන්වීම් කරන බවත්, එහිදී පොල් ආශ්රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත ස්ථාපනය සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බවටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.
දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරිණි.
දේශීය සැපයුම් දාම නඟාසිටුවමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැඟීම සිය රජයේ අපේක්ෂාව බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එම සාකච්ඡාව සඳහා කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක, උප සභාපති රසික සෙනෙවිරත්න, ලංකා බිස්කට් සමාගමේ (CBL) කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලි වික්‍රමසිංහ, ශ්‍රී ලංකා කේටරින් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර, Ma’s Tropical Food Processing (Pvt) Ltd.හි කළමනාකාර අධ්යක්ෂ මරියෝ ඩී. අල්විස්, ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් යන මහත්ම මහත්මීන් ඇතුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ පිරිසක් එක්ව සිටියහ.