මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවී සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කෙරෙන ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් කර ඇති අතර එවන් විශේෂ ව්‍යාපෘතියකට අදාළ පුරෝගාමී (Pilot Project) ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී යෝජනා කෙරුණු අතර, ඊට අමතරව මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා භවිත කළ හැකි නවීන විසඳුම් යෝජනාද සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

නව රජයේ විනිවිද පෙනෙන සුළු හා විවෘත ආයෝජන ප්‍රතිපත්ති ජපන් ආයෝජකයින් තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම කෙරෙහි විශාල දිරිගැන්වීමක් වී ඇති බවත්, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා තමන්ගේ විශේෂ අවධානයට ලක්වී ඇති බවත් එම ආයෝජකයින් ඇමතිවරයාට පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *