දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන දිගටම ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති අනුරගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පූර්ණ ලෙස මහජනතාවට විවෘතව තැබීමට හැකිවන පරිදි දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන නැවත සංශෝධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධිත කෙටුම්පත මගින් වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පැනවීමට යෝජනා වී තිබූ අතර, ඊට සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය විය.

නව නීතිය යටතේ වත්කම් ප්‍රකාශන 160,000ක් පමණ ඉදිරිපත් කිරීමට සිදුවන අතර, රාජ්‍ය මණ්ඩලවල සේවය කරන පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් එම මුල් සංශෝධනය සකස් කර තිබිණි.

කෙසේ වෙතත්, අදාළ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දේශපාලනඥයන් නොවන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෙනම රාමුවක් සකස් කළද, තේරී පත්වුණු මහජන නියෝජිතයන් සහ දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් තොරතුරු මහජනතාවට පරීක්ෂා කිරීමේ අයිතිය තවදුරටත් සුරක්ෂිත කළ යුතු බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සංශෝධිත නව කෙටුම්පත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *