ජනපතිවරණය ගැන ජොතිෂ්‍ය අනාවැකි නවත්වයි

ජංගම දුරකතන කෙටි පණිවිඩ මත විමසීම්, විවිධ උපකාරක පන්ති ගුරුවරුන් පන්තිවල ඡන්ද විමසීම්, ජොතිෂ්‍යවේදීන් ජනාධිපතිවරණය පිළිබඳව විවිධ මත දැක්වීම් මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයේ ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘මව්බිම’ට පැවසීය.

ජනාධිපතිවරණයට බාධා වන ආකාරයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන පිරිසට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොමසාරිස් ජනරාල්වරයා කීවේ ය.

එවැනි ක්‍රියාවන් සිදුකිරීම මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයට ගැනීමට සිදුවන බව රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය පිළිබඳව ජනතාව තුළ බියක් නිර්මාණය කර අයුතු බලපෑම් සිදුකිරීමට උත්සාහ දැරීම බලවත් වරදක් බව හෙතෙම අවධාරණය කළේ ය.

මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය කිරීම එම පුද්ගලයන්ට සිදුකරන අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණයක් බව ත් ඒවාට මාධ්‍ය ප්‍රචාරණයක් ලබා නොදීම වඩා වැදගත් බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, උපකාරක පන්ති සහ සමාජ මාධ්‍ය ජාලයන්වල ජනාධිපතිවරණ සමීක්ෂණයන්  සිදුකරන ලද පුද්ගලයන් පිළිබඳව සොයා බලන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (සැප්. 2) මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 66 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව හෙතෙම අවධාරණය කළේ ය.

තව ද, ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම් පැවැත්වීමේදී ඡන්දදායකයන්ට අල්ලස් ලබා දීම මැතිවරණ පනත අනුව නීති විරෝධී බව ඔහු කීවේ ය.

රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ඡන්ද විමසීම පනතේ සඳහන් වෙනත් වැරදි සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව රත්නායක මහතා සඳහන් කළේ ය.

එවැනි වැරැදි සිදුකිරීමේ ප්‍රතිඵලය අපේක්ෂකත්වය අවලංගු වීම, තේරී පත්වීමෙන් පසු ඡන්ද විමසීමකින් අපේක්ෂකයාගේ ධූරය අහෝසි වීම, සිරගත වීමට ද හැකි බව හෙතෙම අවධාරණය කළේ ය.

රාජ්‍ය සේවකයන් තමාට පැවැරී ඇති රාජකාරිය පමණක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ත් රාජ්‍ය සේවකයන් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළහොත් රැකියාව පවා අහිමි වීමට හැකි බව ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *