පූනාගල ප්‍රදේශය පිළිබඳ කතා කරන විට තමන්ටද සතුටක් දැනෙන බවත්, තමන් ද එම වත්තේ අයෙකු බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා පවසයි.
පූනාගලට යාබද කබරගල ඩිවිෂන් ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු අවස්ථාවේදීම එම ස්ථානයට ගොස් තත්ත්වය සොයා බැලූ බවත්, එහිදී නිවාස 50කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබූ අතර කිහිප දෙනෙකු තුවාල ලබා තිබූ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත් නොවීම සතුටට කරුණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
අනතුරෙන් පසු කබරගල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව වසර දෙකකට ආසන්න කාලයක් මාකන්ද තේ කර්මාන්තශාලා ආශ්‍රිතව තාවකාලිකව රඳවා සිටි බවත්, තමන් කතා කරන මොහොත වන විටත් ඇතැම් පිරිස් එම ස්ථානවල ජීවත් වන බවත් කිට්නන් සෙල්වරාජ් මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ මීට පෙර රට පාලනය කළ ආණ්ඩු විසින් එම ජනතාව වෙනුවෙන් ඉඩම් වෙන් කර තිබුණද, ඉන් ඔබ්බට ඔවුන්ට ස්ථිර නිවාස ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවයි.
ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනාධිපතිවරණ සමයේදී තමන් එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී තමන් එම ජනතාවට පොරොන්දුවක් ලබා දෙමින් ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකර දෙන බවට සහතික වූ බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී තමන් සහ සමන්ත විද්‍යාරත්න මහතා වෙනුවෙන් එම ජනතාව විශාල සහයෝගයක් ලබාදුන් බවත්, මැතිවරණ කටයුතුවලටද ඔවුන් සක්‍රීයව සහභාගී වූ බවත් කිට්නන් සෙල්වරාජ් මහතා සඳහන් කළේය.
ඒ අනුව බලයට පත්වීමෙන් පසු එම ජනතාවගේ තත්ත්වය පිළිබඳ සම්පූර්ණ නිරීක්ෂණයක් සිදු කර, නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කළ බව ඔහු පැවසීය.
ඒ සඳහා රුපියල් මිලියන 160ක පමණ මුදලක් වෙන් කර ඇති අතර, නිවාස 50ක් ඉදිකිරීමේ වගකීම හමුදාව වෙත භාර දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හමුදාව විසින් කැපවීමෙන් එම නිවාස ඉදිකර ඇති බවත්, ජනතාවට නිවාස පමණක් නොව ඒවාට අදාළ ඉඩම්වල ඔප්පු ලබාදීමටද කටයුතු කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම නිවාසවලට අවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු මූලික උපකරණද ලබාදීමට කටයුතු කරන බව කිට්නන් සෙල්වරාජ් මහතා සඳහන් කළේය.
ඊට අමතරව එම පවුල්වලට ස්වයං රැකියා ආරම්භ කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමටද වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ඔහු පැවසීය.
කුකුළු පාලනය, එළු පාලනය ඇතුළු ස්වයං රැකියා සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු කරන බවත්, ජනතාවට ලබාදෙන නිවාස ඉතා උසස් මට්ටමකින් ඉදිකර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවද ඔහු පැවසීය.
මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් වතුකරයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන වැදගත් ත්‍යාගයක් බවද කිට්නන් සෙල්වරාජ් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා පැවසුවේ, මෙම වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
ජනාධිපතිවරයා ධුරයට පත්වීමට පෙරද පූනාගල ප්‍රදේශයට පැමිණ තිබූ බවත්, එම අවස්ථාවේදී දේශපාලන කටයුතු සඳහා ප්‍රදේශයට පැමිණ ගිය නමුත්, මෙවර ජනාධිපතිවරයා ලෙස පූනාගලට පැමිණෙන්නේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන බවත් කිට්නන් සෙල්වරාජ් මහතා පැවසීය.
එළඹෙන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතින් එම ජනතාවට නව නිවාස ඔප්පු සහිතව භාරදීමට නියමිත බවත්, නිවාසවල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු පූනාගලට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය වතුකරයේ ජනතාවට නව යුගයක ආරම්භයක් බවද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.