වැඩි මිලට බෙහෙත් විකුණා රුපියල් 25000න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් නාරාහේන්පිට පිහිටි ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 21 වැනිදාට අධිකරණය හමුවේ යළි පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (02) නියෝග කළාය.

ඒ එම නඩුව සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ මහතා මෝසම මාර්ගයෙන් අද කරන ලද කරුණු දැක්වීමට අනුවය.

මේ නඩුවේදී පුදුම සහගත දේ සිදුවී ඇති බවත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොසිටි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ පැමිණිලි පාර්ශවය නොසිටි පසුගිය ජනවාරි 17 වැනිදා රෝහලේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් මේ නඩුව කැඳවා මෙහි තීන්දුව ලබාගෙන ඇති බවත් එය නීතියට පටහැනි බවත්, එය නඩුව සොරා පැහැරගෙන යාමක් බඳු යැයි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙය අපරාධ නඩුවක් බවත්, පෙන්වාදුන් නීතීඥවරයා එම නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේ බලය ලත් නියෝජිතයා යැයි ලිපියක් ඉදිරිපත් කරමින් නැමැත්තෙකු නඩුවේ විත්තිකරුවන් වන රෝහලේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් වරද පිළිගෙන ඇති බවත්, එසේ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් වෙනත් අයකුට පෙනී සිටිය නොහැකි බවද අධිකරණයට දැන්වීය.

අදාළ විත්තිකරුවන් අතර විශාල ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් ඇතුළු රටේ ප්‍රභූන් සිටින බවත්, අපරාධ නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් අයකුට පෙනීසිටීමට අවස්ථාව සැලැසීම නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ද නීතීඥ  මහතා අධිකරණයට කියා සිටියේය.

නීතීඥ මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් බලයලත් නියෝජිතයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 25,000ක දඬ මුදලක් නියම කර ඇති බවත්, එසේවුවද, මෙවැනි වරදක් පිළිගත් පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ජනතාව‍ගෙන් සමාව ඉල්ලා සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන පුවත්පත්වල අඟල් 10 X 10 ප්‍රමාණයෙන් දැන්වීමක් පලකළ යුතුබවත්, ඒ සඳහා නියෝගයක් මෙහි නැතැයි ඔහු ‍අධිකරණයට දැන්වීය.

මේ තොරතුරු දැනගැනීමෙන් තමාත් පුදුමයට පත්වූ බවත්, කිසිම අවස්ථාවක වැඩබලන මහේස්ත්‍රාත්වරයකුට දඬුවම් නියෝගයක් නිකුත් කළ ‍නොහැකි බවත්, මේ නඩුවේ යම්කිසි ගැටලුවක් සිදුව ඇති බව නීරීක්ෂණය වන බවත්, මලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විවෘත අධිකරණයේ කියා සිටියාය.

‍අදාළ විත්තිකරුවන්ට දඬුවම් නියම කර ඇති ආකාරය පිළිබඳව ද ගැටලුවක් ඇතැයි ද, විත්තිකරුවන්ට චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කළ යුතුබවත්, එසේම මෙවැනි සුළු දඬ මුදලකුත් නියම කළ නොහැකි බවද ඇය පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ නඩුවේ විත්තකරුවන් ලෙස නම්කර ඇති  ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් පිරිසට ලබන 21 වැනිදාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත්කරන ලෙස නියෝග කළාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ද එදිනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *