හිටපු ජනපති රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක් – හිටපු මන්ත්‍රී,ඇමතිලත් එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එ.ජා.ප ආරංචි මාර්ග සඳහන් කරයි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා කරනු ලබන්නේ කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයන්ටය. හිටපු මැති ඇමැතින් 450 ක් පමණ මෙලෙස ඇරයුම් ලැබීමට සුදුසුකම් ලබා තිබේ. එහෙත් ඒ අය අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා තෝරාගනු ලබන්නේ 225 දෙනකු පමණි.

මාසයේ පාර්ලිමේන්තුව රැස්වන දින 8 හිදී විකල්ප පාර්ලිමේන්තුව ද රැස්වෙයි. විකල්ප පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ආණ්ඩුවේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන ඡායා ඇමැති මණ්ඩලයක් ද පත් කෙරේ. ඔවුන් අදාළ අමාත්‍යංශ සම්බන්ධව ක්‍රියා කළ යුතුය. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් කිහිප දෙනෙක් විකල්ප පාර්ලිමේන්තුවේ කතානායක, සභානායක හා විපක්ෂ නායක ලෙස ද පත් කිරීම අරමුණයි.

මේ හැර දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), ගිණුම්කාරක සභාව (කෝපා) ඇතුළු කමිටු කිහිපයක් පිහිටුවීමටද අදහස් කරන බව දැනගන්නට ඇත.

එසේම මෙම විකල්ප පාර්ලිමේන්තුවට විශේෂ ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්ටද ඇරැයුම් කෙරෙන අතර ලොව විවිධ රටවල සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්ටද ශ්‍රී ලංකාවේ විකල්ප පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

Source – Sunday Deshaya Newspaper

Leave a Reply

Your email address will not be published. Required fields are marked *