වාර්තාගත ලෙස ඊයේ රෝස මල් මිලියන 2ක් විකිණෙයි

ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ (14 වැනිදා) දිනයේදී රෝස මල් මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් අලෙවි වූ බව මල් අලෙවිකරුවෝ පවසති. පසුගිය වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී රෝස මල් අලෙවිය සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබූ බවද ඔවුහු කියති.

දිවයිනේ මල් අලෙවි කරන ස්ථානවලින් රතු රෝස ඇතුළු විවිධ මල් වර්ග මිලදී ගැනීම සඳහා පෙරේදා (13 වැනිදා) සවස් කාලයේ සිටම දැඩි ඉල්ලුමක් පැවැති බවද මල් අලෙවිකරුවෝ පවසති. තනි රෝස මලක් රුපියල් 300 සිට රුපියල් 1,000 දක්වා විවිධ මිල ගණන්වලට මල් අලෙවිසල්වලින් අලෙවි කෙරිණි. එමෙන්ම රෝස මල් පොකුරක් රුපියල් 3,000 සිට 6,000 දක්වා විවිධ මිල ගණන්වලට අලෙවි කෙරුණි.

රෝස මල් අලෙවියෙන් මල් අලෙවිකරුවන් ඊයේ දිනයේදී පමණක් රුපියල් කෝටි 1,200 කට වැඩි ආදායමක් උපයා ඇත.

රෝස මල්, මල් පොකුරුවලට අමතරව නිර්මාණය කරන ලද ‘ටෙඩී බෙයාර්’ මිලදී ගැනීමටද විශාල ඉල්ලුමක් පැවැති බව විසිතුරු නිර්මාණ අලෙවිකරුවෝ පවසති. මෙම ‘ටෙඩී බෙයාර්’ එකක් රුපියල් 500ත් 1,500ත් අතර මිලකට අලෙවි කෙරේ.

මීට අමතරව ආදරවන්තයින්ගේ දිනයේදී මෙරට තරු පන්තියේ හා අනෙකුත් හෝටල්වල කාමර රැසක් පෙම්වතුන් විසින් වෙන්කරගෙන තිබුණි. මෙම පෙම්වතුන් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි සංචාරකයෙන්ද වේ. මෙරට තරු පන්තියේ හෝටල් කාමර 15,000ක්ද, අනෙකුත් හෝටල් කාමර 40,000ක්ද පවතින සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ආදරවන්ත‍ෙන්ගේ දිනය වෙනුවෙන් සංචාරක හා අනෙකුත් හෝටලවල විවිධ වැඩසටහන් පවා සංවිධානය කර තිබුණි. පෙම්වතුන් සඳහා විවිධ පැකේජ පවා හෝටල්වලින් පෙම්වතුන්ට ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *